20. සෙල්ලම් කරන්නට උපදෙස්




දරුවෙක්ට සෙල්ලම් බඩු තෝරාගන්නවා කියන්නේ ත් ටිකක් සිතාමතා කල යුතු දෙයක්.


ඔබ ඔබේ දරුවාට සෙල්ලම් බඩුවක් තෝරාගැනීමේදී සිතන කරුණු මොනවාද? හැඩය, වර්ණය,අවශ්‍යතාව,ඉන් ලැබිය හැකි ප්‍රයෝජනය, දරුවාගේ රුචිකත්වය,මිළ ආදී බොහොම කරුණු කාරණා මත මෙම තෝරාගැනීම සහ මිලදී ගැනීම රඳා පවතිනවා.

ඒ වගේම දරුවෙක්ට සෙල්ලම් බඩුවක් රැගෙන දුන්නාට පසු ඔබ ඔහු/ ඇය එයින් සෙල්ලම් කරන ආකාරය නිරීක්ෂණය කරනවා හෝ නොකරනවා වෙන්නත් පුළුවන්.සමහර දරුවන් ඉක්මනින් සෙල්ලම් බඩු කඩාබිඳ දමනවා.ඒ හා සම්බන්ධ චර්යාවනුත් ඔබ නිරීක්ෂණය කර ඇති.

අපගේ මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන කරුණු සාමාන්‍ය දරුවෙක්ට සේම විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක්ට ලබා දියයුතු සෙල්ලම් බඩුවක් තීරණය කරන අන්දම ,එය තෝරාගන්නා ආකාරය සහ එය භාවිත කරන ආකාරය ගැන දැනුවත් වීමට හේතු වනු ඇති.

දරුවෙක් සාමාන්‍යයෙන් ගමනක් බිමනක් යද්දී සෙල්ලම් බඩුවක් දුටු තැනදී ඉල්ලීම සාමාන්‍ය දෙයක්.සමහරක් විට එම සෙල්ලම් බඩුව මගින් දරුවාට එතරම් ප්‍රයෝජනයක් නොලැබෙන්නත් පුළුවන්.

නමුත් මුදල ගැනත් සලකා බලල ඔබ එය රැගෙන දෙනවා වෙන්නට පුළුවන්.ඒ වගේම ඔබ දරුවෙක් බලන්න යනවිට ,ඒ වගේම තෑග්ගක් ලෙස හෝ දරුවාගේ යම් යම් අවශ්‍යතා සඳහා සෙල්ලම් බඩු තෝරාගන්නා වෙලාවක් තිබෙන්නට පුළුවන්.මෙන්නමේ වගේ අවස්ථාවකදී ඔබ සැලකිලිමත් වියයුතු කරුණු මොනවද යන්න අපි සිතන්න අවශ්‍යයි .

අපි මෙහිදී විශේෂයෙන්ම කතා කරන්නේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ගැන බැවින් මුලිකවම ඒ සම්බන්ධ අදහස් ගෙන එන්න සිතනවා.

විශේෂ අවශ්‍යතා ඇති ධරුවන්හට සෙල්ලම් බඩු තෝරාගන්න විට ඔවුන් ගත කරන්නේ කිනම් වර්ධන පියවරකද යන්න වටහා ගැනීම ඉතා වැදගත් වෙනවා.උදාහරණයක් ලෙස මස්තිෂ්ක ආඝාතයෙන් ( cerebral palsy  ) පෙලෙන පස් අවුරුදු දරුවෙක් ගත්විට ඔහුට හිඳ ගැනීමේ කුසලතාව සහ අතින් යමක් ඇල්ලීමේ අපහසුතාවන් තිබෙන්නට පුළුවන්.එවිට ඔහුට වයස අවුරුදු පහක් යයි සිතා බයිසිකලයක් ,පාපන්දුවක් ලබා පලක් නැති වෙන්නට පුළුවන්. ඔබ වඩා සැලකිලිමත් විය යුත්තේ දරුවාගේ වර්ධනය සම්බන්ධවයි.

එබැවින් සෙල්ලම් බඩුවක් තෝරාගන්නා විට දරුවාගේ ක්‍රියාකාරිත්වය ගැන සිතා බලන්න.ඔහුගේ මුලික වර්ධන පියවර සහ අත් වල ක්‍රියාකාරිත්වය ගැන සලකා බලා ඔහුට පහසුවෙන් භාවිත කල හැකි සෙල්ලම් බඩු තෝරාගන්න.එමෙන්ම දරුවාගේ තවමත් දියුණු වී නැති කුසලතා වර්ධනයට උචිත වන , ඒවාට රුකුල් දෙන සෙල්ලම් බඩු තෝරාගන්න.ඇතැම් අවස්ථා අවලදී ඔබගේ වෘත්තීය චිකිත්සක නිලධාරීන් ඒ සම්බන්ධ ව ඔබව දැනුවත් කරනු ඇති.

මිට අමතරව දරුවාගේ පෙනීම සහ කන් ඇසීම සම්බන්ධවත් ඔබ සැලකිලිමත් විය යුතු වෙනවා.දරුවාගේ පෙනීම ගැටළු සහිත වන විට ඒ සඳහා ගැලපෙන වර්ණ යොදාගැනීමත් ශබ්දය ඇසීමෙහි ගැටළු සඳහා විවිධ ශබ්ද  ඇති සෙල්ලම් බඩුත් භාවිත කල යුතු වෙනවා.

මෙහිදී දරුවාට එම සෙල්ලම් බඩුවෙන් අපේක්ෂිත අරමුණ කුමක්ද යන්න වටහා ගැනීම ඔබ විසින් කලයුතු වේ.සමහරක් විට ඔබට දරුවා වෙනුවෙන් තෝරාගන්න සෙල්ලම් බඩුවේ යම් යම් අංග නොතිබිය යුතු වීමද විශේෂයක්.

උදාහරණයක් ලෙස පෙනීම සම්බන්ධ දුර්වලතා ඇති දරුවා හට ඒ සඳහා වර්ණවත් සෙල්ලම් බඩු ඔබ තෝරා ගනිද්දී ඔබ ශබ්දය හඬවන සෙල්ලම් බඩු තෝරා නොගත යුතු වෙනවා.

දරුවා යමක් අතින් අල්ලාගැනීමේ අපහසුවෙන් පෙලේ නම් සෙල්ලම් බඩුවක් තෝරාගන්න විට ඒ ගැනත් සැලකිලිමත් වන්න.හැම විටම පහසු මිටක් සහිත සෙල්ලම් බඩුත් , තියුණු දාර සහ මුළු රහිත ඒවත් වඩා සුදුසු බව සිහි තබා ගන්න .මන්ද මේ දේවල් මගින් අනතුරු ඇතිවිය හැකි බැවිනි. දරුවාගේ අත සහ ශරීරය ට පහසුවෙන් හසුරවා ගත හැකි සෙල්ලම් බඩු තෝරාගන්නට ඔබට වෘත්තීය චිකිත්සක වරයා උපදෙස් දෙනු ඇත.

දරුවකු සෙල්ලම් කිරීමට යෙදවීමෙන් විවිධ දේ ඉගන ගනියි.අප සෙල්ලම් බඩුවක් තෝරාගැනීමේදී එම උගත යුතු ක්‍රියාවන් ගැන අවබෝධ කරගත යුතුය.ඇතැම් විට ඔබ ඉතා මිළ අධික සෙල්ලම් බඩු හුදෙක් දැකුම්කලු බව හේතුවෙන්ම දරුවාට අරන් දෙන්නට පෙළඹෙනු ඇත.නමුත් හොඳින් නිර්ක්ෂණය කල විට ඔබට වටහා ගත හැකි සුලබම කාරණය නම් දරුවන් රුචි වන්නේ ස්වභාවික තත්ත්ව වලට සමීප සෙල්ලම් බඩු බවයි.

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වැලි සහ ජලය සමග කරනා සෙල්ලම් ක්‍රම ඉතාම ප්‍රථිපල දායක වේ.මෙහිදී දරුවාගේ ආරක්ෂාව සහ හැසිරවීම ගැන ඔබ වග බලා ගත යුතුවේ.

වැලි සහ ජලය සමග සෙල්ලම් කිරීම තුලින් දරුවාගේ ස්පර්ශ සංවේදනය මෙන්ම නිර්මාණශීලි බව, සාමුහික ක්‍රියාකාරකම්,එමෙන්ම සමායෝජනය ද ඔප මට්ටම් වේ. ඔබට අවැසි නම් සෙල්ලම් බඩු මිලදී ගන්නාවිට මේ සඳහාම නිර්මාණය කල  ප්ලාස්ටික් බඩු ( beach set )  මිලදී ගන්නට හැක. 

නමුත් ඉඳහිට දරුවන්ට පොල් කටු කීපයක් ,ප්ලාස්ටික් වතුර බෝතල් කීපයක් සමග බේසමක් දෙන්න..ඔවුන් නිදහසේ සහ වඩා උද්යෝගයෙන් දෙවන අයිතමයන් සමග සෙල්ලම් කරනු ඇත.මේවා සාපේක්ෂව මුදලක් නොයෙදවෙන දේවල් මෙන්ම අනතුරු දායක බවින් ද අඩුය.

ඔබ ඔබේ දරුවන්ට සෙල්ලම් බඩු නිර්මාණය කර දී තිබේද..?

බොහෝ විට නැත.නමුත් මා රාගම පුනරුත්තාපන රෝහලේ සේවය කරන කාලයේදී දෙමාපියන් හා එක්ව විවිධ සෙල්ලම් බඩු දරුවන් වෙනුවෙන් ප්‍රතිකාර මාලාවන් අතරේදීම කළ අතර ඒවා ඉතාම ප්‍රථිපල දායක විය.

මෙයට හේතු වන්නේ ඔබ ඔබේ දරුවාට යමක් නිර්මාණය කරන විට ඔබ දරුවාගේ විශේෂ අවශ්‍යතාවයක් ගැන හොඳින් සිතා බැලීමයි.එම සිතා බැලීමෙන් අනතුරුව ඔබ ඔබේ දරුවාටම , ඔබට සොයාගත හැකි ද්‍රව්‍ය වලින් සෙල්ලම් බඩුව සමහරක් විට දරුවන් වෙනුවෙන් ඔබට පරිසරයේ විවිධ දේ සෙල්ලම් භාණ්ඩ ලෙස යොදාගන්නට සිදු වනු ඇත.

කෘතීම පරිසරයකට වඩා එවැනි පරිසරයක දරුවා සමග සෙල්ලම් කිරීම දරුවාට බොහෝ සංවේදන ලබා දෙයි.

දරුවා සෙල්ලම් කිරීමට යොදවන විට තනි ක්‍රීඩා සහ සෙල්ලම් සඳහා මෙන්ම සාමුහික ක්‍රීඩා/සෙල්ලම් වෙතද යොමු කරන්න.ඒ යොදවන අවස්ථාව කුමන අරමුණක් ද ලෙස ඔබ විසින් වටහා ගෙන තීරණය කල යුතු වෙනවා.

සෙල්ලම් කිරීම තුලින් දරුවෙක්ගේ කායික, මානසික මෙන්ම අවබෝධාත්මක කුසලතාද ගොඩනැගිය හැකියි.සාමුහික කටයුතු කිරීම, සමායෝජන ක්‍රියාවලින්, හුවමාරු කරගෙන ක්‍රියා කිරීම, ඉවසීම,ආදිය මෙන්ම ප්‍රසංශාව , අගය කිරීම ආදී කුසලතා රැසක් මේ තුලින් දරුවාගේ ජිවිතයට එකතු වෙනවා.

මෙම තත්වය විශේෂ අවශ්‍යතා සහිත දරුවකුගේ පමණක් නොව සාමාන්‍ය දරුවකුගේද ජිවිතයට ඉතා වැදගත් වෙනවා.

දරුවාට අනුකරණයට ඉඩ දෙන්න.මෙය ඔබට සෙල්ලම් කිරීම තුලින්ම පුහුණු කල හැකියි.සෙල්ලම් ගෙවල්, කඩයක්, පාසලක් ආදී පරිසර නිර්මාණය කරමින් අපි සෙල්ලම් කල අපේ ළමා විය සිහි කරන්න.

එයින් නිරායාසයෙන් අප උගත් දේ අද දරුවන්ට ආයාසයෙන් හුරු කරවන්නට වීම පාසල් අධ්‍යාපනයේ මුල සිටම දකින්නට ලැබෙන්නේ ඒ නිසයි.ගෘහස්ත කටයුතු අනුකරණය, සෙල්ලම් බත් ඉවීම ආදිය තුලින් දරුවා ඉගන ගනී.එමෙන්ම පවුලේ සාමාජිකයන් අනුකරණයෙන් අදාල සාමාජිකයන්ගේ වගකීම්,යුතුකම් ( family roles  )ආදිය ගැන ද දරුවා ඉගන ගනී.

ඉතින් වටහා ගන්න..සෙල්ලම් කිරීම යනු දරුවාගේ ජිවිතයේ ඉදිරි පියවර සඳහා අඩිතාලමයි.

ඒ තුලින් දරුවාට උගන්වන්න.ඔබත් ඉගන ගන්න.


Comments

Popular posts from this blog

06. නිවැරදි ඉරියව් වලින් මනා සුවයක්

09. මේ ගැනත් දැනගන්න ...ඇඳ තුවාල හෙවත් පීඩන තුවාල

15. පිළිස්සුම ගැන කරුණු ටිකක්