28. Dyspraxia (DCD- Developmental Coordination Disorder ) - චාලක ඉගැනුම් අසීරුතාවය

 Dyspraxia (DCD- Developmental Coordination Disorder ) - චාලක ඉගැනුම් අසීරුතාවය 




Dyspraxia යනු දරුවකුගේ චලන සහ සමායෝජනය ආශ්‍රිතව ඇතිවන ගැටළු විස්තර කිරීමට යොදා ගන්නා වචනයකි. සාමාන්‍යයෙන් දරුවෙකුගේ චලන හා සමායෝජන ක්‍රියාදාමයේ ඇතිවන විවිධ ගැටලු සම්බන්ධව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් විසින් මෙම රෝග නිර්ණය ලබාදුන්නද එය මේ සඳහාම වූ විශේෂිත ඇගයීම් මාලාවක් (assessments) තහවුරු කරගත යුතු වේ .

මෙම ගැටළුව සම්බන්ධ රෝග නිර්ණය බොහෝ විට දරුවාගේ චාලක සහ ක්‍රියාකාරකම් කුසලතා අනුව මත රඳා පවතී . දරුවාගේ චාලක ක්‍රියාකාරිත්වයට, ක්‍රීඩාවන් වල යෙදීමට සහ ඇඳුම් ඇඳ ගැනීම ආදී ක්‍රියාවලීන්ට මෙම dyspraxia තත්ත්වය තදින්ම බලපාන අතර මනාව පාලනය වන සහ සමායෝජනයක් සහිත ක්‍රියාවන් කිරීමේ ගැටළුව දරුවාගෙන් දිස්වේ. 

සාමාන්‍යයෙන් යම් කිසි ක්‍රියාවක් අප විසින් සිදු කිරීමේදී අපගේ මොළය විසින් අදාළ සංවේදන ලබා ගැනීම සහ එම සංවේදන වටහාගෙන එයට අදාළ ක්‍රියාව කිරීම සිදුවේ. නමුත් dyspraxia තත්ත්වයේදී මෙම දරුවන්ගේ මොළය සිය පණිවුඩ හුවමාරුව නිසි ලෙස සිදු නොකරයි.

Dyspraxia සහිත දරුවා හට එම නිසා ක්‍රියාවක් කරන්නට යාමේදී කරන්නේ කුමක්ද සහ එය කරන්නේ කෙසේද යන ගැටලු ඇතිවේ.

දරුවකු හට Dyspraxia ඇති බව වටහා ගන්නේ කෙසේද ? 

මූලික වශයෙන් ම මෙබඳු දරුවන් ක්‍රියාකාරකම් වල යෙදීමට මැළි බවක් දක්වනවා සේම ක්‍රියාකාරකම් වල හුරුබුහුටි බවක් නොදක්වයි. බොහොම විට සමකාලින යහළුවන් හා සංසන්දනයේදී මෙම දරුවන් අනෙක් අයට වඩා චාලක ක්‍රියාකාරකම් වල සංවර්ධනයේ පසුගාමී බවක් පෙන්වයි. දෛනික කටයුතු සිදුකිරීමේදී ගැටළුවලට නිතර මුහුණ පාන ඔවුන් බොහෝ විට වැටීම් පා පැටලීම ආදිය සිදු කර ගනි.

මීට අමතරව 

🔸ආහාර ගැනීමේදී මිශ්‍ර සංයුතියකින් යුත් ආහාර පරිහරණයේ ගැටළු දක්වයි . මෘදු සහ දියවී යන සුළු ආහාර ගැනීමට ප්‍රිය කරයි.

🔸ඇඳුම් ඇඳීම , පෞද්ගලික සනිපාරක්ෂක කටයුතු, හැඩ වැඩවීම ආදී ක්‍රියාකාරිත්වයන් හි වර්ධනය ප්‍රමාද වෙයි.

🔸ආහාර ගැනීමේදී හැඳි ගෑරුප්පු භාවිතය කෝප්ප වලින් පානය ,බීම බටයකින් උරා බීම වැනි කාර්යයන් නිවැරදිව කිරීමේ ගැටලු සහගත බවක් පෙන්වයි.

🔸සියුම් චාලක ක්‍රියාකාරිත්වයන් හි වර්ධන දුබලතා පෙන්වයි 

🔸 ද්‍රව්‍ය විම වට්ටවා ගැනීම, බිඳ ගැනීම සුලබ ය. 

🔸අත්දෙක සමායෝජනය සහිතව භාවිතයට දුර්වල බවක් පෙන්වයි . එම නිසා බෝලයක් ඇල්ලීම, විසි කිරීම වැනි ක්‍රියා අසීරුය .

🔸දල චාලක කුසලතා සමායෝජනයේ ගැටලු ඇත . එබැවින් පැනීම( jumping), පැන පැන යාම (hopping ), skipping ,දිවීම (running ) නැගීම (climbing) ආදී ක්‍රියාකාරිත්වයන් හි ගැටළු ඇත. 

🔸Dyspraxia සහිත දරුවන්ගේ අත් අකුරු වල පැහැදිලි දුබලතා ඇත. 

🔸පිහිනීම, බයිසිකලයක් පැදීම ආදි තරමක් සංකීර්ණ ක්‍රියාවල යෙදීමට අසීරුය 

🔸පැන්සල, කතුර, අඩි කෝදුව ආදි උපකරණ භාවිතය අසීරුය. 

මෙබඳු කායික ක්‍රියාකාරකම් සහ අධ්‍යාපනික ගැටලු නිසා පාසැල් ක්‍රියාකාරකම් වල දී බොහෝ දුෂ්කරතා වලට මුහුණ පායි 

මෙබඳු ගැටලු බහුලව පවතින දරුවකු වහාම ළමා රෝග වෛද්‍ය විශේෂඥවරයකු වෙත රැගෙන යා යුතු අතර ඒ හරහා වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර වලට යොමුවිය හැක .

වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර වලට දරුවා යොමු වූ විට එම දරුවාගේ චාලක ක්‍රියා සහ දෛනික කටයුතු සම්බන්ධයෙන් වෘත්තීය චිකිත්සකවරයා විසින් ඇගයීම් සිදුකරන අතර සම වයසේ දරුවන්ගේ කටයුතු හා සංසන්දනයේදී ප්‍රබල වෙනස්කම් දක්වනවා ද යන්න සලකා බැලේ .

සාමාන්‍යයෙන් දරුවකු ඉහත චාලක කටයුතුවල ගැටලු දක්වන අතර වෙනත් කිසිදු වර්ධනය සම්බන්ධ ආබාධ තත්ත්වයකින් පසු නොවේ නම් එම දරුවා බොහෝවිට dyspraxia ලෙස රෝග නිර්ණය කරයි. 

එබඳු දරුවකු දරුවකු වෘත්තීය චිකිත්සක නිලධාරියා විසින් විවිධාකාර ඇගයීම් වලට ලක්කර ඔහුට ඇති ගැටලු පරාසය හඳුනා ගන්නා අතර එම ගැටලු සඳහා ක්‍රියාකාරකම් පාදක කරගත් ප්‍රතිකාර මාලාවක් තීරණය වේ .

අකුරු සහ හැඩතල ලිවීම( hand writing ) සහ යමක ඉහලට බඩගෑම( climbing ) වැනි විශාල පරාසයක ක්‍රියාකාරකම් වලින් හෙබි දරුවා හට ම ගැළපෙන ප්‍රතිකාර මාලාවක් මෙහිදී තීරණය වනු ඇත. 

සියුම් ක්‍රියාකාරීත්වය සිට දළ චාලක කුසලතා පරාසය තෙක් විහිදෙන ක්‍රියාකාරකම් වලින් පරිපූර්ණ ප්‍රතිකාර මාලාවක් මෙම dyspraxia ගැටලු සහිත දරුවා හට වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර මඟින් ලබා දෙනු ඇත .





කිත්මා වාසනා දහනායක

වෘත්තීය චිකිත්සක ආචාර්ය 

භෞත චිකිත්සක සහ වෘත්තීය චිකිත්සක විද්‍යාලය 

ජාතික රෝහල කොළඹ

Comments

Popular posts from this blog

06. නිවැරදි ඉරියව් වලින් මනා සුවයක්

15. පිළිස්සුම ගැන කරුණු ටිකක්

09. මේ ගැනත් දැනගන්න ...ඇඳ තුවාල හෙවත් පීඩන තුවාල