29. රුමටොයිඩ් ආතරයිටිස් රෝගය සදහා මූලික උපදෙස්

 රුමටොයිඩ් ආතරයිටිස් රෝගය සදහා මූලික උපදෙස්




කිනම් හෝ රෝගී තත්ත්වයක් නොවැලඳී ජීවත්විය හැකිනම් එවැන්නෙකුට සිය ජීවිත කාලය තුළ දී ලැබිය හැකි වෙනත් අනර්ඝ වස්තුවක් නොමැති තරම්ය .

ඒ අන් කිසිවක් නිසා නොව කිසියම් අවස්ථාවකදී රෝගයක් ඇති වූ විට අත්විඳින්නා වූ වේදනාව වචනයකින් කියා විස්තර කළ නොහැකි හෙයිනි .

එහෙත් එවන් වූ වාසනාවක් අපට හිමි කරන්නට ඇති අවස්ථාව කෙතරම් අල්පද.. කෙසේ වුවත් බොහෝ විට යම් යම් රෝග තත්ව වැළඳෙන්නේ අපගේම වරදිනි. 

එමෙන්ම යම් රෝගයක් වැලඳුණු විට දී ඒ පිළිබඳව නොසැලකිලිමත් භාවය හෝ එසේත් නැතිනම් පාලනය කර කරගැනීමට උත්සාහ නොකිරීමෙන් අවසානයේ අකල් මරණ මෙන්ම ජීවිත කාලය පුරාම වේදනාකාරී දුක්ඛිත ජීවිත ගත කිරීමට සිදුවේ.

එහෙයින් රෝගයක් වැලඳීමට පෙර එය වළක්වා ගැනීමටත් යම් රෝගයක් වැලඳුණු විට දී මුල් අවස්ථාවේ සිටම රෝගය පාලනය කර එයින් අත්මිදීමටත් කටයුතු කිරීමෙන් ඔබට සුවදායී දිවියක් ගත කිරීමට හැකිය .

විශේෂයෙන්ම රුමැටීසියා සන්ධි ප්‍රදාහය හෙවත් රුමටොයිඩ් ආතරයිටිස් තත්ත්වය යනු දිවිය පුරාම වේදනාව උරුම කර දෙන්නා වූ රෝගයකි .එහෙයින් මේ ලිපිය ඔස්සේ ඒ සම්බන්ධයෙන් ඔබ දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙමි 

රුමැටීසියා සන්ධි ප්‍රදාහය හෙවත් රුමටොයිඩ් ආතරයිටිස් සන්ධි හා සන්ධි ආශ්‍රිත අවයව වල ඇති ඉතා ගැටලුකාරී සහ වේදනාකාරී රෝගී තත්ත්වයක් ලෙස හැඳින්විය හැකිය. 

නිශ්චිත හේතුවකින් තොරව හටගන්නා මෙම රෝග තත්ත්වය විශේෂයෙන් අවුරුදු 35 ට වැඩි කාන්තාවන් අතර දක්නට ලැබේ. කෙසේ වුවත් පුරුෂ පක්ෂය හා සාපේක්ෂව බලන කළ රුමැටීසියා සන්ධි ප්‍රදාහය හෙවත් රුමටොයිඩ් ආතරයිටිස් තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ ස්ත්‍රී පාර්ශවයේය.

මුල් අවස්ථාවේදී සන්ධි හා සන්ධි ආශ්‍රිත පටකයන්ගේ ඉදිමුමක් ලෙස රුමැටීසියා සන්ධි ප්‍රදාහය ඇති වන අතර මේ තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වී පසුව සන්ධි විකෘතිතා දක්වාම උත්සන්න වේ . 

එහෙයින් මෙය දැඩි වේදනාකාරී තත්ත්වයක් ඇති කරන අතරම මේ තත්ත්වය නිසා ඇතිවන විකෘතිතා නිසා පුද්ගලයෙකුගේ සාමාන්‍ය ජීවන රටාවට දැඩි බලපෑමක් එල්ල කරනු ලබයි .

මේ තත්ත්වය වර්ධනය වූ පසු බටහිර වූ දේශීයව හෝ කිනම් ප්‍රතිකාර ක්‍රමයක් යටතේ ප්‍රතිකාර කළ ද සම්පූර්ණ සුවය තහවුරු කළ නොහැකිය.

කෙසේ වුවත් මුල් අවස්ථාවේ සිටම රෝගය නිසි ලෙස පාලනය කිරීම තුළින් බොහෝ සංකූලතා මගහරවා ගත හැකි බව බොහෝ විට ඔබ නොදන්නවා ඇත. එහෙයින් මේ තත්ත්වය වළක්වා ගැනීම සඳහා ඔබට අවශ්‍ය දැනුම ලබාදීම මෙම ලිපියේ අරමුණයි .

විශේෂයෙන්ම බටහිර වෛද්‍ය ක්‍රමයට අයත් වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර මඟින් ඉහත rheumatoid arthritis තත්ත්වය සඳහා විශේෂිත වූ ප්‍රතිකාර ලබා දිය හැකි අතර ඉක්මන් හා වඩා විශ්වාසනීය වූ සහනයක් මේ තුළින් රෝගියාට හිමිවේ. 

රුමැටීසියා සන්ධි ප්‍රදාහය හෙවත් රුමටොයිඩ් ආතරයිටිස් රෝගයේ රෝග ලක්ෂණ වනුයේ සන්ධි ඉදිමීම, රක්ත වර්ණ වීම, වේදනාව, සන්ධි චලනය අපහසුවීම වැනි තත්ත්වයන් වේ . 

මෙම ලක්ෂණ බොහෝවිට බොහෝ විට කුඩා සන්ධිවලට මුලින්ම වැළඳී ඇති බව හඳුනාගත් වහාම ඒ සඳහා වෛද්‍ය උපදෙස් ලබා ලබා ගැනීම කළ යුතුවේ .එම අවස්ථාවේදී අදාළ වෛද්‍යවරයා විසින් අදාල රුධිර පරීක්ෂණ සහ එක්ස්රේ පරීක්ෂණ සිදුකර රෝග තත්ත්වය නිර්ණය කරනු ලැබේ. විශේෂයෙන්ම මෙම රෝගී තත්ත්වය වැළඳී ඇති බව නිගමනය වුවහොත් රක්තවාත රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමුවීම අනිවාර්ය වන අතර එහිදී වෛද්‍යවරයා ඔබ පරීක්ෂාකර ප්‍රතිකාර තීරණය කරනු ඇත.

කිසියම් රෝගී තත්ත්වයක් වැළඳුණු විට දී ඒ සම්බන්ධ නිසි චර්යා රටා පවත්වා ගැනීම ඉතා වැදගත් වේ . නිවැරදි චර්යා රටා මගින් රෝගය පාලනය කරගත හැකි අතරම ඉක්මන් සුවයක් ද හිමිකර ගැනීමට හැකිවේ. 

විශේෂයෙන්ම විශේෂයෙන්ම රෝගියකු වශයෙන් මෙවැනි සන්ධි ප්‍රදාහ තත්ත්වය වැලදුනු විට එවැනි චර්යා රටාවන් මෙන්ම ඒ සඳහා සුවිශේෂී වූ ඉරියව් පවත්වා ගැනීම කළ යුතුය. මෙවැනි රෝගවල දී පසු කාලීනව ඇතිවිය හැකි සංකූලතා හා අතුරු ආබාධ වළක්වා ගත හැකිය.

විශේෂයෙන්ම මෙවැනි රෝගී තත්ත්වයක් වැළඳුණු රෝගීන් නිවැරදි ඉරියව් භාවිතා කිරීම ඉතා වැදගත් වේ. ඒ සඳහා අවශ්‍ය උපදෙස් ආ ක්‍රියාමාර්ග වෘත්තීය චිකිත්සක නිලධාරීන්ගෙන් ලබා ගැනීමට හැකියාව ඇත. ඔවුන් විසින් විශේෂිත වූ ක්‍රමවේදයන්ට අනුව මේ පිළිබඳ රෝගීන් දැනුවත් කරනු ඇත.

පොදුවේ ගත් ගත් කල මෙවැනි රෝගීන් විසින් පිළිපැදිය යුතු කරුණු කිහිපයක් පහත දැක්වේ. 

🔸ඔවුන් බර එසවීමෙන් හැකිතරම් දුරට වැළකී සිටිය යුතුය.

🔸විශේෂ අත් වල කුඩා සන්ධිවලට බර යෙදීම අවම කළ යුතුය 

🔸සුළු බරක් වුව එසවීමේදී සමාන ලෙස අත් දෙකට බර බෙදී යන සේ බර එසවිය යුතුය.




🔸පඩිපෙළ නැගීම හැකිතාක් දුරට අවම කරගත යුතුය

🔸වැඩක් කරන අතරතුර දී කෙටි විවේකයක් ගැනීම කළ යුතුය

🔸උස් අඩි සහිත පාවහන් පැළඳීම නොකළ යුතුය



 

🔸යමක් එසවීමේදී නිවැරැදි ඉරියව් භාවිත කළ යුතුය 

🔸සිසිල් ජලය භාවිතය හැකිතාක් අවම කළ යුතුය 

🔸රෙදි මිරිකීම වැනි ක්‍රියාකාරකම් වලදී සන්ධි විකෘතිතා ඇති වන දෙසට එය නොකළ යුතුය

🔸ලොකු සන්ධිවලට ආසන්නව යම් බරක් එසවීම සිදුකළ යුතුය 

ඉහත සඳහන් කරනු ලැබූ පොදු උපදෙස් වලට අමතරව රෝගියා සදහා සන්ධි ආරක්ෂා කිරීමේ ශක්තිය රැක ගැනීමේ විශේෂ උපදෙස් මාලාවක් වෘත්තීය චිකිත්සක නිලධාරීන් විසින් ඔබට ලබාදෙනු ඇත . මෙවැනි නිවැරදි ඉරියව් තුළින් රෝගී තත්ත්වය සංකීර්ණ වීම වලක්වා සන්ධිවලට හානිවීම අවම කරගත හැකිය 




කිත්මා වාසනා දහනායක 

වෘත්තීය චිකිත්සක ආචාර්ය 

භෞත චිකිත්සක සහ වෘත්තීය චිකිත්සක විද්‍යාලය 

ජාතික රෝහල කොළඹ

Comments

Popular posts from this blog

06. නිවැරදි ඉරියව් වලින් මනා සුවයක්

15. පිළිස්සුම ගැන කරුණු ටිකක්

09. මේ ගැනත් දැනගන්න ...ඇඳ තුවාල හෙවත් පීඩන තුවාල