33. සමිත ශිෂ්‍යත්වෙ පාස්

 සමිත ශිෂ්‍යත්වෙ පාස්



සමිත වයස අවුරුදු දහයක පමණ කුඩා දරුවෙක් .පාසලේ පහ වසර පන්තියේ ඉගෙනුම ලබන සමිත ගේ සහ ඔවුන්ගේ දෙමව්පියන් ගේ එකම අභිප්‍රාය ශිෂ්‍යත්ව විභාගය සමත් වී නගරයේ ජනප්‍රිය හා උසස් පාසලකට ඇතුළු වීමේ වරප්‍රසාදය ලබා ගැනීමයි. මේ සඳහා සමිත සූදානම් වූයේ තුන්වන ශ්‍රේණියේ සිටයි.

වර්තමානයෙහි පවතින අධ්‍යාපනයේ තරඟ රැල්ලට හසු වූ බොහෝ දරුවන්ට මෙන්ම සමිතට ද නිරායාසයෙන් ම මේ පහේ ශිෂ්‍යත්ව රැල්ලට හසුවී ගසාගෙන යන්නට සිදු වුණා. නගරයෙන් ඔබ්බට වන්නට පිහිටි ග්‍රාමිය පරිසරයක වූ සමිතගේ මුල් පාසලෙහි ද්විතීක ශ්‍රේණි අධ්‍යාපනයක් නොවුන නිසා ඔවුන් අනිවාර්යෙන්ම ශිෂ්‍යත්වය මත මහත් බලාපොරොත්තු තබා ගෙන උන්නා.

පාසල් වෙලාවට අමතරව සමිත පාසලේ සවස්වරුවේ සතියට දින තුනක් පවත්වන අමතර පන්තියකටද ඉතිරි දිනවල පෞද්ගලික පන්ති දෙකකට ද සහභාගි වුණා . මීට අමතරව පාසලේ පවරන විවිධාකාර අභ්‍යාසයන් ද නිවසට ආපසු වෙහෙස නොබලා සම්පූර්ණ කරන්නට සමිතට සිදු වුණත්..." අනේ පුතේ තව මාස කීයද මේ ටික කොහොමහරි කරගනිමු කෝ " ලෙසින් අම්මගෙන් එන ඇවිටිලි බස්ද වෙහෙස දරා ගන්නට ඔහුට අපහසුවෙන් වුවත් සිදුවුණා.ඉරිදා දිනවල දහම් පාසලටත් නොයා සිටීමට ඉඩක් නොලැබුණු නිසා සමිතට සතියේ දින හතම එක හා සමානව විවේකයක් නොලබා කටයුතු කරන්නට සිදුවුණා

ශිෂ්‍යත්ව විභාගයට මාස හතරක් පමණ තිබියදී සමිතට හදිසියේම ඇතිවූ ගැටලුව ඔහු, ඔහුගේ දෙමව්පියන් මෙන්ම ගුරුවරුන්ද කම්පනයට පත් කරන්නට හේතු වුණා. සමිත කියන්නේ පන්තියේ සිටි දීප්තිමත්ම දරුවා... ඔහුගේ ප්‍රතිඵලය ගැන දෙමව්පියන් සහ ගුරුවරුන් ඉමහත් බලාපොරොත්තු තියාගෙන සිටි නිසා මෙම අනපේක්ෂිත තත්ත්වය ඔවුන්ට අදහා ගන්නටත් නොහැකි වුණා.

එය සමිතගේ අකුරු හා ලිවීමේ සම්බන්ධව ඇතිවූ ගැටලුවක් .මෙහිදී සිදු වූ ප්‍රධානම දෙය නම් ඔහු ලිවීමට පටන් ගෙන ඉතා සුළු මොහොතකදී ඇඟිලිවලට ඇතිවන ගැටලු සහගත බවක් නිසා තවදුරටත් අකුරු ලිවීමට නොහැකි වීමයි. ආයාසයක් දරමින් ලිවීමට දිගින් දිගටම තැත් දරන විට සමිතගේ අකුරුවල හැඩය වෙනස් වී ඉතා නොපැහැදිලි අවලස්සන තත්ත්වයක් ගන්නට වූ අතර දැඩි වේදනාවක් ද ඔහුට ඇති වෙමින් තිබුණා

විභාගයට ඉතා ආසන්න කාල වකවානුවක සිදුවූ මේ අනපේක්ෂිත තත්ත්වය නිසා සමිතගේ ආත්ම විශ්වාසය ද මදින් මද ගිලිහී යමින් තිබුණා . මේ හේතුවෙන් සමිත කල් නොයවාම ළමා රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍ය තුමියක් වෙත යොමු කරන්නට දෙමව්පියන් පියවර ගත්තා . එහිදී විවිධාකාර පරීක්ෂණ සහ ඇගයීම් මාලාවකට පසු හඳුනාගත හැකි කිසිදු ශාරීරික ගැටලුවක් නො වූයෙන් ඔහු ව ළමා මනෝ වෛද්‍යවරයෙක් වෙත යොමු කරනු ලැබුවා. මේ ඇසුරින් කරන ලද පරීක්ෂණවලින් අනතුරුව සමිතට සිදු වී ඇති තත්වය තත්ත්වය writers cramp ලෙස නම් කරනු ලැබුවා.

සමිත මුහුණ පා ඇති මේ ගැටලුව සඳහා වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර ලබාදිය යුතු යැයි ද තීරණය කරනු ලැබුවා . සමිතගේ දෙමව්පියන් ඔහු කැටුව වෘත්තීය චිකිත්සක සායනයකදී මා හමු උනේ ඉහත සියලුම වෛද්‍ය වාර්තා සහිතවයි පූර්ණ රෝගී තත්ව නිරීක්ෂණයට පසුව සමිතගෙ ලිවීම් රටාවන් නිරීක්ෂණයට ලක් කරනු ලැබූවා මෙහිදී ලිවීමට අදාල සියළුම කරුණු එනම් පෑන අල්ලා ගන්නා ආකාරය, ඉඳගෙන ඉන්නා ආකාරය, හැසිරීම, මුහුණේ ඉරියව් ආදී සියල්ලම වෘත්තීය චිකිත්සාවට අදාලව නිරීක්ෂණය කරන්නට එහිදී හැකිවුණා.

සාමාන්‍යයෙන් ලිවීම අරඹා අපහසුතාවයට පත්වන්නට ගත වන කාලය සහ මෙහිදී දරුවා පත්වන ගැටලු සහ වේදනාකාරී තත්ත්ව මට්ටම විමසිල්ලට ගනු ලැබුවා. 

writers cramp ලෙසින් හඳුන්වන තත්ත්වය සාමාන්‍යයෙන් හඳුන්වන්නේ අතේ හෝ යටි බාහුවේ මාංශ පේශීවල සිදු වන මස්පිඩු පෙරළීමක් ලෙසයි. මෙය බොහෝවිට බොහෝ විට දැකිය හැකි වන්නේ ලිවීමේදී සහ සියුම් වාද්‍ය භාණ්ඩයක් වාදනයේදීයි. මෙම රෝග තත්ත්වයට නියමිත පැහැදිලි හේතුවක් නැතත් අධික ලෙස ලිවීම වැනි සියුම් ක්‍රියාකාරීත්වයන් ගේ යෙදීමත් ඒ සඳහා නිවැරදි ඉරියව් භාවිතා නොකිරීමත් හේතුවේ යැයි සොයා ගෙන තියෙනවා. 

සමිතගේ ලිවීමේ දී නිරීක්ෂණය කළ ප්‍රධානම තත්ත්වය උනේ පෑන අල්ලා ගැනීමේ වැරදි ඉරියව්වයි. සාමාන්‍යයෙන් අකුරු ලිවීමේදී පෑනක් අල්ලාගත යුතු නිවැරදි ඉරියව්ව වන මහපට ඇඟිල්ල දබරැඟිල්ල සහ මැඳගිල්ල එක්වන ඉරියව්ව ( tripod grip )වෙනුවට දරුවන් ලිවීමට යොදා ගන්නා තම තමන්ට අනන්‍ය වූ රටාවන් තිබෙනවා . ආරම්භයේ දී සිටම දරුවෙක් ලියන වෙනස් ඉරියව්වක් වේ නම් එය වෙනස් කළ යුතු නැතත් සමහර දරුවන් පසු කාලීනව වෙනත් අය අනුකරණයෙන් සහ විවිධ හේතු නිසා මෙසේ යොදා ගන්නා වැරදි ලිවීම් රටාවන් නම් වෙනස් කළ යුතු වෙනවා

සමිතගේ තිබුණේ පසුකාලීනව මිතුරන් අනුකරණයෙන් ලත් වැරදි රටාවක් . මුලදී සෙල්ලමකට මෙන් පටන් ගත් මෙම අනුකරණයන් පසුව ඇබ්බැහි වීමක් ලෙස අකුරු ලිවීමට යොදාගැනුනා. එය දරුවා සමග සාකච්ඡා කර ,වෙනස්කම් නිවැරදි කර, පුහුණු ක්‍රියාකාරකම්වල යෙද වීමෙන් නිවැරදි කරනු ලැබුවා

දරුවා ලිවීම සහ වෙනත් කටයුතුවල දී ඉඳගන්නා නිවැරදි ඉරියව්ව සහ ලිවීමේ දී අත සහ යටි බාහුව නිවැරදිව ඉරියව් ගත කළ යුතු අන්දම ගැන දැනුවත් කරනු ලැබුවා. සමිතට ලිවීමට සිදුවුන ප්‍රමාණය අධික වීමත් සමගම ලිවීම මඳක් කරගෙන යාමේදී ඔහුගේ අතට දැනෙන වෙහෙස සහ පීඩනය මත මාංශපේෂි තද වීමක්ද ඇති උණා .මේ සඳහා මානසිකව සැහැල්ලු කිරීමේ ව්‍යායාම මාලාවක් ( relaxation techniques) කියා දෙනු ලැබූ අතර නිවසේදී පුහුණුවීම් කරගෙන යන්නට උපදෙස් දෙනු ලැබුවා. 

දෙමාපියන් ලෙස වඩාත් සැලකිලිමත් විය යුතු මෙවන් අවස්ථා බහුලව දරුවන් තුළ පවතිනවා . ඉහත නම සඳහන් කල තත්ත්වයට අමතරව ශාරීරික හා මානසික හේතුන් මත දරුවන් ලිවීමේ කුසලතා වල පසුබෑමක් පෙන්වන අවස්ථා තිබෙන්නට පුළුවන්. අද දවසේ පවතින අධ්‍යාපන රටාවට දරුවන් බිලි වී හමාරයි. නමුත් දරුවන් මල් වගේ... එය අවිවාදයෙන් යුතුව පිළිගත යුතු කාරණයක්. 

දරුවාට දරා ගන්නට බැරි සීමාවට අධ්‍යාපනය පත් වුවහොත් සිදුවන්නේ ශාරීරික සහ මානසික මෙන්ම චර්යාත්මක ගැටලු ඇතිවීමයි . මෙහිදී අප පැවසූ writers cramp තත්ත්වයට අමතරව ලිවීමේ නිවැරදිතාවය , පැහැදිලි හා හැඩතල නිවැරදි භාවය මෙන්ම ලිවීමට ඇති අකමැත්ත සහ ප්‍රතික්ෂේප කිරීම් ද දරුවන් තුළින් විද්‍යාමාන වන්නේ ඉහත කියන ලද දරාගත නොහැකි පීඩන තත්ව මතයි.

සමිත ඔහුට ලබා දුන් මාංශ පේශි සැහැල්ලු කිරීමේ සරල ව්‍යායාම පන්තිය මනාව ඉටු කරන අයුරු දින කීපයක් මා විසින් නිරීක්ෂණය කරනු ලැබූ අතර දෙමව්පියන් හට වෙනම මේ තත්ත්වය පහදා දෙනු ලැබුවා. ශිෂ්‍යත්ව විභාගය අත්‍යවශ්‍ය කඩඉමක් වුවත් දරුවාගේ කායික හා මානසික දරාගැනීම මට්ටම අභිබවන්නට ඉඩ නොදීමට ඔවුන්ට උපදෙස් දෙනු ලැබුවා. 

සමිත මාසයකට වරක් සායනයට පැමිණ සිය ගැටලුව ක්‍රමානුකුල අඩුවීම ගැන යහපත් ලකුණු පෙන්වා සිටි අතර පාසලේ වාර්තා මෙන්ම දෙමවුපියන්ගේ විස්තර අනුව ඉහත ගැටලුව බොහෝ දුරට සමනය වූ බව දැනගන්නට ලැබුණා.

ඉතින් මාස ගණනකට පසුව මගේ සායනයේ දොර හෙමින් විවර වී සිනාමුසු මුහුණකින් එබුන සමිත ගේ හඬින් කියවුනේ මෙන්න මෙහෙමයි...

"මම ශිෂ්‍යත්වය පාස් "


නම් ගම් සියල්ල සැබෑ පුද්ගල නාම නොවන බව කරුණාවෙන් සලකන්න


කිත්මා වාසනා දහනායක 

වෘත්තීය චිකිත්සක ආචාර්ය 

භෞත චිකිත්සක සහ වෘත්තීය චිකිත්සක විද්‍යාලය 

ජාතික රෝහල කොළඹ 


රුව අන්තර්ජාලය ඔස්සේය.

Comments

Popular posts from this blog

06. නිවැරදි ඉරියව් වලින් මනා සුවයක්

15. පිළිස්සුම ගැන කරුණු ටිකක්

09. මේ ගැනත් දැනගන්න ...ඇඳ තුවාල හෙවත් පීඩන තුවාල