37. කුඩා කාලයේ පටන් දරුවකු තුළ පිළිවෙල පුරුදු කරන ආකාරය

 කුඩා කාලයේ පටන් දරුවකු තුළ පිළිවෙල පුරුදු කරන ආකාරය



" අනේ අර දරුවා වැඩකරන හැටි බලන්න හරිම පිළිවෙලයි....පොතක් පතක් වුණත් හරි නීට්.... "

" මේ දරුවා නම් කොච්චර කිව්වත් පිළිවෙලකට වැඩ කරන්න ඉගන ගන්නෙ නෑ ...කවදා ඉගන ගනීද මන්දා..." 

මෙම දෙයාකාරයේ ප්‍රකාශ ඔබ ඕනෑතරම් සාමාන්‍ය එදිනෙදා පරිසරයේදී අසා ඇති....

පිළිවෙලකට වැඩ කිරීම....එය උගන්වන්නේ / ඉගන ගන්නේ කෙසේද.....මේ අද අපේ සටහනේ මාතෘකාවයි. 

දරුවන් ගේ ඉගනීම ගැන සලකා බලන විට..එම ඉගැනීම ක්‍රම කිහිපයකට සිදුවේ..

විධිමත් සහ අවිධිමත් ඉගැනුම් රටා වලින් දරුවෙක් ජීවිතය ට කුසලතා එක් රැස් කරගනී..

දරුවකුගේ ඉගනීම යනු පෙර පාසල, පාසල සහ එතැනින් ආරම්භ ව ගලා යන අධ්‍යාපන ක්‍රම වේදය පමණක් නොවේ. ජීවන කුසලතාවයන් හැදෑරීම ද දරුවෙක් ගේ ජීවිතයේ විශේෂිතම අංගයකි. 

දරුවකු සිය ජීවන කුසලතාවයන් හදාරන විට සෙසු ජීවන අංශ ඉබේම ඔප මට්ටම් වී හැඩ ගැසේ.එබැවින් දරුවකු ගේ ජීවන රටාවේ පිළිවෙල ගැන සැලකිලිමත් වීම දෙමවුපියන් වන ඔබ සතු වගකීමකි... 

පිළිවෙලකට වැඩ කිරීම යනු තරයේම සකස් කල කාලසටහනකට හිර වීම නොවන බව ඔබ මතක තබා ගත යුතුව ඇත.දරුවකු යනු නිදහස් ජීවියෙකි.අනවශ්‍ය තරමේ නීතිමාලාවක හිරවීම ඔබේ දරුවාට වෙහෙසකාරීය...එහෙයින් යමක් දරුවෙකු හට උගන්වන විට එය දරුවාට ගෝචර ක්‍රමයකට උගන්වන්න....

පළමු වැදගත් කාරණය ඔබ දරුවාට ක්‍රියාවෙන් ආදර්ශයක් වීමය. ඔබේ ජීවන රටාව තුළ පිළිවෙල නමැති දේ නැත්නම් දරුවා එය කිසිසේත්ම ඉගන ගන්නේ නැත.අම්මා තාත්තා සහ වැඩිහිටියන් යනු දරුවන්ගේ මුල් ගුරුවරයන් වන හෙයින් ඔබ දරුවාට එම ආදර්ශය ලබා දිය යුතු වේ. 

උදාහරණයක් ලෙස ඔබට අවශ්‍ය වන්නේ දරුවා පොත් මේසය , සෙල්ලම් බඩු ටික , කාමරය පිලිවෙලට තබා ගැනීම නම් එය ඔබ අණකිරීමක් , උපදෙසක් මගින් බලාපොරොත්තු නොවී දරුවාට ඔබේ ක්‍රියාවෙන්ම වරක් දෙකක් කර පෙන්වීම ඉතාම ප්‍රතිපල දායකය....

මෙන්න මෙහෙම කාමරේ ලස්සනට පිළිවෙලකට තියාගත්තාම කොච්චර ශෝක්ද .... නේද පුතේ....? 

දරුවාගෙන් ම ඒ අදහස විමසීම හොඳ ප්‍රතිපෝෂණයක් ( feed back ) වනු නොඅනුමානයි.

එමෙන්ම දරුවන් බොහෝ විට ඔවුන්ට තීරණ ගැනීමට ඉඩ දෙනවාට බෙහෙවින් කැමතියි..

එම නිසා දරුවකු හට යමක පිළිවෙල ඉගැන්වීමේදී " ඔයාට මොකද හිතෙන්නෙ..මේක මෙහෙම කලොත් ද හොඳ...නැත්නම් මෙතන ලස්සනට තියන්න පුතාගෙ ප්ලෑන් එක කියන්නකො..." ඒ ලබා දෙන මූලිකත්වය සහ තීරකයා වීම දරුවාට ලොකු ආත්ම විශ්වාසයක් ඇති කරන හෙයින් ප්‍රායෝගිකව ඉතාම වැදගත් වෙයි ...

සාමාන්‍යයෙන් වැඩිහිටි අපගේ ඉවසීම ඉතාම අඩු බව අපි අත්දැකීමෙන්ම දනිමු...එහෙයින් දරුවෙකුගේ අපිළිවෙල යනු දෙමාපිය මනස යක්ෂාරූඩ කරන එක් දෙයකි. නමුත් කෑගැසීම සහ බැන වැදීම තුළ දරුවා පිළිවෙල ඉගන ගනී යැයි ඔබ සිතනවා නම් එය ඉතාම තාවකාලික දෙයකි.එහෙයින් ගැලපෙනම අවිය භාවිතා කරන්න. ...ඒ ඔබේ ආදරය මිස අන් කිසිවක් නොවේ...හොඳින් කරුණාවෙන් ආදරයෙන් ඉල්ලීමක් ලෙස , යෝජනාවක් ලෙස කිරීම ඉතාම ප්‍රායෝගික දෙයකි.

අද ලෝකය තාක්ෂණය හා ඉදිරියට යන්නේ ඉතාම වේගයෙන්.දරුවන් ජංගමය, අන්තර්ජාලය ට බෙහෙවින් ඇබ්බැහි වීම මැසිවිල්ලක් ම වී හමාරයි.නමුත් මේ තාක්ෂණය ඔබට ඔබේ දරුවා නිසි ලෙස හැඩගස් වන්නට අපූරු ලෙස යොදාගන්නට පුලුවන් .දරුවාගේ ක්‍රියා පිළිවෙල ඡායාරූප ගත කරන්න.එය දරුවාට මුද්‍රණය කර කාමරයේ පුවරුවක ගසා පෙන්වන්න.ඔබ ඔබේ සමාජ ජාල මිතුරු සමාජය හා නොපැකිල එය බෙදාගන්නා බව පෙන්වන්න .දරුවා ඉන් ලබන්නේ මනා ප්‍රතිපෝෂණයකි.

ප්‍රසංශාව මිල කල නොහැකි දෙයකි. ඔබේ දරුවා පිළිවෙලකට හැඩ ගැස්වීම ට ඒ ප්‍රසංශාව මනා පිටුවහලකි.

" ශා හරිම ලස්සනට ඔයා ඇඳුම් ටික නවලනෙ...මටවත් බෑ ඔච්චර ලස්සනට ඒක කරන්න...." 

මේවා මැජික් වදන් ය 

දරුවා හට යමක් නිසියාකාරව ඉගැන්වීමේ ක්‍රමවේදයන් අතර තරු පුවරු ඉතා පලදායී වේ....සාර්ථක හැම පියවරක් වෙනුවෙන්ම දරුවාට තරුවක් ලබා දීම දරුවාගේ පිළිවෙලකට වැඩ කිරීමේ උත්තේජනය ඇති කරයි.මාසයක් අවසානයේ සාර්ථකත්වය ඇස් පනාපිටම දිස් වෙන අතර අල්ලසක් නොවන ත්‍යාගයක් ඒ සඳහා දරුවාට ලබා දෙන්නට හුරුවන්න....

දරුවන් පිළිවෙලකට හුරු කල යුත්තේ මනසට වදයක් නොවන ආකාරයටය.එහිදී ඔබ නිරමාණශීලී විය යුතු අතර දරුවා නවමු අත්දැකීම් ඔස්සේ පිළිවෙල ඉගන ගන්නා බවට වගබලා ගත යුතු වේ...

කිසිම විටෙක දරුවා සසඳන්නට නොයන ලෙස ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමි.මන්ද යත් අල්ලපු ගෙදර හෝ පාසලේ යාබද අසුනේ දරුවාගේ පිළිවෙල ඔබේ දරුවට එසේම පිහිටිය නොහැක.දරුවන් සැමවිටම අනන්‍ය වේ.එකිනෙකාට වෙනස් ය.ඔබ දෙමවුපියන් ලෙස වටහා ගත යිතු ප්‍රධානම දෙය එයයි.ඔබ ඔබේ දරුවා තුළින් වෙනත් දරුවකු දැකීමට හා තැනීමට නොයා යුතු අතර ඔබේ දරුවා කුඩා කල සිටම නිසි ක්‍රමවේදයකට හැඩ ගැස් වීමේ ක්‍රියාවලිය ඔබ අත හා ඔබේ ක්‍රියාවන් තුළම පවතින බව මතකයට නගා ගන්න 

දරුවන් බොහෝ දේ ඉගන ගන්නේ අනුකරණය තුලිනි .ඔබ නිසි පිළිවෙල කට ඔබේ ජීවන කුසලතාවයන් ගෙන යන විට දරුවා එය ඉබේටම අනුකරණය කරන්නට පෙළඹේ...


කිත්මා වාසනා දහනායක

වෘත්තීය චිකිත්සක ආචාර්ය 

භෞත චිකිත්සක සහ වෘත්තීය චිකිත්සක විද්‍යාලය 

ජාතික රෝහල කොළඹ

Comments

Popular posts from this blog

06. නිවැරදි ඉරියව් වලින් මනා සුවයක්

15. පිළිස්සුම ගැන කරුණු ටිකක්

09. මේ ගැනත් දැනගන්න ...ඇඳ තුවාල හෙවත් පීඩන තුවාල