40. දරුවන්ට කියවීම හුරකරවන්නේ කෙසේද..?

 දරුවන්ට කියවීම හුරකරවන්නේ කෙසේද..?



දශක ගණනකට පෙර කුඩා දරුවෙක්ව උන් මගේ ළමා කාළය මෙම සටහන ලිවීමේදී මට සිහියට නැගෙයි...

ඉලෙක්ට්‍රොනික හා තාක්ෂණික මෙවලම් වලින් තොර වූ ඒ කාලයේ, දැනුම සහ තොරතුරු සොයාගන්නට තිබුණ එකම මග කියවීමයි.අද තරම් වෛවාරණ රුවෙන් පැහැයෙන් අනූන වූ පොත් පත් රාශියක් ඒ කාලයේ නොතිබුණද, කියවීම ළමා ජීවිතය පුරා මුල් බැස තිබිණ...

පාසල නිමාවී නිවෙසට ආ සැණින්, බත් පත එක අතකටත් පත්තර කොළයක් අනෙක් අතටත් නොගෙන කෑම කෑ දිනයක් මගේ ළමා වියෙහි නොතිබුණි.එදවසට පොත් කාවා, පත්තර පිස්සි, පොත්ගුල්ලි වැනි නම් රාශියක් පටබැඳුණේද ඒ නිසාවෙන් බව මට සිහිවෙයි.

අද අපේ ළමා පරපුර යන්නේ අති සීඝ්‍ර ගමනකි.ඒ ගමන් මග පුරාම ඇත්තේ නවීන තාක්ෂණයයි.ඇඟිලි තුඩග ලෝකයේ සියලු තොරතුරු තිබේ.පොත් පත් පෙරළමින් කාලය ගත කළ යුතු නොවේ.නමුත් කියවීම අතින් ඉතාම පසුගාමී ළමා සහ යොවුන් පරපුරක් අප සතු බව නොරහසකි.

මේ පූර්ව සටහන ලිවීමේ මූලිකම අභිප්‍රාය වන්නේ ...දෙමවුපියන් වන ඔබ ඔබේ දරුවාට කියවීම හුරු කරවන්නේ කෙසේද යන්න ට පිවිසීමක් ලෙසය.

කියවීමේ ආශාව සේම ගුණාත්මක කියවීමක් ඇති කිරීමද ඉතාම වටිනා දෙයකි.

අද කාලයේ ළමා පොත් වල ප්‍රමිතිය සහ එහි අන්තර්ගතය ඔබ දරුවාට පොත දීමට පෙර කියවා බැලිය යුතුය.ළමා මනස යනු හිස් කඩදාසියක් බඳුය .එයට එක් කරන වැරදි සටහන් මකාලිය නොහැක.එම නිසා පොතක ඇති වැරදි කරුණු, ව්‍යාකරණ ආදිය ගැන සැලකිලිමත් වන්න.

දරුවාට කියවන්නට දෙන පොතකින් දරුවාට යම් පණිවිඩයක් හැම විටම ලබාදෙන්න.එය දරුවාට ඔහුගේ හෝ ඇයගේ කියවීමේ වටිනාකම ඒත්තු ගන්වාලනු ඇති.

එමෙන්ම දරුවකුගේ ජීවිතයේ විශේෂ අවස්ථාවන් එනම් උපන්දිනය, සිංහල අවුරුද්ද, නත්තල ,වැනි ඕනෑම අවස්ථාවක දරුවාට තෑග්ගක් ලෙස පොතක් දෙන්න.මගේ ළමා කාලයේදී අලුත් අවුරුද්දට සුබ නැකතින් වැඩ ඇල්ලීමේදී මගේ දෙමවුපියන් යොමු කළේ පොතක පිටුවක් කියවීමටය.එය මනසට සුබ සහ යහපත් දෙයක් ලෙස එක් විය.

එමෙන්ම දරුවාගේ ජයග්‍රහණයකදී තෑග්ගක් ලෙස පොතක් දීම ඉතාම අගනා දෙයකි.ඒ මගින්ද දරුවන් කියවීමට කැමැත්ත ඇති කරගනී.

දෙමවුපියනි, කියවීම යනු දරුවකුගේ ජීවිතයේ හොඳම විනෝදාංශය කරවීමේ කාර්‍ය භාරය ඇත්තේ ඔබ අතය.එය නවීන ලෝකය සමග ගත් කල එතරමම පහසු දෙයක් නොවනු ඇත.මන්ද සමකාලීනයන් (peers) කියවීමට මැළි වන විට දරුවාද පසුගාමී වන හෙයිනි.ඔබ දරුවා සමග මනා සමීපතාවයක් පවත්වාගනී නම් එය ඔබට අපහසු කාර්‍යයක් නොවේ.

දරුවකු කියවන්නට හුරු කිරීමේ මුල්ම පියවර ඇරඹිය යුත්තේ ඔබෙනි.ඔබ කියවන්නට මැලි අයෙක් නම් ඔබේ දරුවාට අනුකරණය හා අනුගමනය කරන්නට අයෙක් නොමැත.

මගේ ළමා වියෙහිදී මට ඒ ආභාෂය මනාව ලැබුණි.එවකට මට කියවන්නට ලැබුණේ රුසියානු ළමා කතාය.දරුවෙකු හට මනෝමය ලෝකයේ අපූර්වත්වය කියා දෙන්නට රුසියානු සාහිත්‍යය ඉතාම පොහොසත් එකකි.අපූර්ව අලංකරණයන් ගෙන් සහ ළමා වියට උචිත වූ රූප සහ අලංකරණයන්ගෙන් යුක්ත වූ ඒ ළමා කතා වල මුද්‍රණ අදටත් අපට ලබා ගන්නට හැකිවීම වටිනාම දෙයකි.

මම මගේ දරුවන්ට කියවීම හුරු කලේ ද ඔවුන් ළඟ තබා ගෙන පොත් කියවීමෙනි.බහ තෝරන අවධියෙහි පටන් ඒ හුරුව මා අතින් සිදුවිය.දරුවන් හට කෑම කවනා මොහොත, සෙල්ලම් කරන අතරතුර සහ නින්දට යන මොහොතට පෙර කියවීම හුරු කරවිය හැක.

මූලිකව ම දරුවා සමග පොතක් කියවීම ඉතාම වටී.එතැනදී දරුවාගේ මානසිකත්වය ඔබ වටහා ගත යුතු වන අතර ඔබ ළමා වියට පියමං කල යුතු වෙයි.දරුවාගේ රුචිකත්වයට සමීප වන හා ඒ රටාවට අනුගත වන පොත් තෝරාගන්න.උදාහරණයක් ලෙස සතුන් ගැන කියවන්නට ආසා ඔබේ දරුවාට සතුන් ගැන කියවෙන කතා පොත් තෝරාගන්න.දරුවන් ග්‍රහලෝක ගැන, අභ්‍යවකාශය ගැන, යන්ත්‍රසූත්‍ර ගැන, විද්‍යාත්මක කරුණු ගැන කියවන්නට ඉතාම ආසා කරන අතර කුතුහලය වැඩෙන වයසේදී ඔවුන් හට විද්‍යාත්මක පරිසරයන් ගැන කියාදීම ඉතා වටී.

දරුවන් පොතට වඩා ජංගමයට , වීඩියෝ ක්‍රීඩා සහ රූපවාහීනි කාටූන් බැලීම ඇබ්බැහියක් ව ඇති මෙවන් කාලයක දරුවන්ට කියවීම හුරු කරවීමද අභියෝගයකි.එහිදී ඔබ අන්තර්ජාලය වෙත දරුවා පිවිසීම සීමා කළයුතු වන අතර අන්තර්ජාලයෙන් කියවීමට ඇති පහසුකම් අදාළ අවස්ථාවේ සපයා දීම වඩා ප්‍රායෝගික පියවරක් වනු ඇත.

නමුත් ළමා වියෙහි සිටින දරුවන් අන්තර්ජාලය සහ ජංගමයෙන් දුරස් කර ඒ වෙනුවට දරුවන් ට මනා කියවීම් පරිසරයක් ඔබට සාදා දිය හැකි නම් එය පෙරකී තත්වයට වඩා දරුවාගේ කායික මානසික සංවර්ධනයට වැදගත් වෙයි.

දරුවාට මේසයක් ලඟ පුටුවක් තබා කියවන්නට හුරු කරනවාට වඩා ගහක් යට , නිදහස් පරිසරයක , බිම ඉඳගෙන ආදී ලෙස නිදහස් ඉරියව්වක එය කරන්නට ඉඩ දෙන්න.

ඔබට ඇත්තේ සීමිත ඉඩ කඩක් නම් මිදුලේ බිම ඇතිරිල්ලක් එලා එහි සිට දරුවාට කියවන්නට ඉඩ දෙන්න.ඔබත් පොතක් ගෙන එතැන සිට කියවන්න.

දරුවා පුස්තකාලයකට රැගෙන යාමත් ඉතා වටිනා පෙළඹවීමකි.පුස්තකාලයක කියවීම් පරිසරය සහ එහි පොත්පත් අසුරා ඇති ආකාරය දරුවන්ට කියවීම ගැන මහත් අභිරුචියක් ගෙන දෙයි.ලඟම පුස්තකාලයේ සාමාජිකත්වය රැගෙන සතියකට දිනක් දරුවා සමග එහි යන්න.දරුවාට තමන්ට අවශ්‍ය පොත් තෝරාගන්නට ඉඩ දෙන්න.එය ඔහු හෝ ඇයගේ පෞරුෂය නංවාලයි.

පාසල් වල කියවීම් සමූහයන් (reading circle) බොහෝ විට තිබේ .දරුවාට ඒවාට බැඳෙන්නට ඉඩ සලසන්න.දරුවන් අතර පොත්පත් හුවමාරුව සහ අදහස් බෙදා ගැනීම මත කියවීම වැඩිදියුණු වෙයි.

හැම මාසයකම දරුවාට පොතක් අරන් දෙන්න.පොත් වල මිල ගණන් සැලකූ කල අද එය තරමක් අසීරු ක්‍රියාවක් වුවත් ඔබට පහසු මිලට ලබා ගත හැකි පොත් රාශියක් පොත් සාප්පු වල ඇත.අවශ්‍ය වන්නෙ තරමක කාලයක් කැපවීමක් සහ මඳ රස්තියාදු වීමකි.ඔබ ට හැකි නම් දරුවාට කැටයක් දෙන්න.දිනපතා සුලු මුදලක් එයට එක් කරන්න හුරු කරවන්න.පොත් ප්‍රදර්ශනය කාලයේ හෝ දරුවන්ට එම මුදලින් පොත් ගන්න ඉඩ දෙන්න.තමන් ඉතිරි කල මුදලින් තමන් පොත් ගැනීම දරුවාගේ කියවීම් ආශාව වැඩිකරවයි.

කබඩ් එකක් හෝ කියවීම් මුල්ලක් හදාගන්න.දරුවා ට පොත් ටික පිළිවෙලකට අසුරා ගන්නට කියාදෙන්න.පොතක් පරෙස්සමින් රැකගත යුතු බව සහ එයට ආදරය සහ ගරු කල යුතු බව කියාදෙන්න.

ඉහත කෙටි සටහන් පෙළකින් ඔබට මා ගෙන හැර පෑවේ දරුවකු කියවීමට කැමැත්ත ඇති කරවන්නේ කෙසේද යන්නයි.ඔබේ දරුවා හැමවිටම අන් අය සමග සැසඳිය යුතු නොවේ.දරුවන් සුවිශේෂී වන අතර කියවීමේ රුචිකත්වයද විවිධාකාර වනු ඇත.එබැවින් දරුවා අන් දරුවන්ගේ කියවීම් රටාව සහ ප්‍රමාණය සමග සැසඳීමට නොයන ලෙස ද ඉල්ලා සිටිමි.අවශ්‍ය වනුයේ ඔබ ඔබේ දරුවා වටහා ගැනීමය.එය දරුවා කියවීමට උනන්දු කරවීමේ ලොකුම සහ පහසුම සාධකය වනු ඇත.



කිත්මා වාසනා දහනායක

වෘත්තීය චිකිත්සක ආචාර්ය 

භෞත චිකිත්සක සහ වෘත්තීය චිකිත්සක විද්‍යාලය 

ජාතික රෝහල කොළඹ

Comments

Popular posts from this blog

06. නිවැරදි ඉරියව් වලින් මනා සුවයක්

09. මේ ගැනත් දැනගන්න ...ඇඳ තුවාල හෙවත් පීඩන තුවාල

15. පිළිස්සුම ගැන කරුණු ටිකක්