41. යහපත් මානසික පසුබිමක් සඳහා ක්‍රීඩා සහ විනෝදාස්වාදී කටයුතු වලින් ඇති ප්‍රයෝජන

යහපත් මානසික පසුබිමක් සඳහා ක්‍රීඩා සහ විනෝදාස්වාදී කටයුතු වලින් ඇති ප්‍රයෝජන



ක්‍රීඩා සහ විනෝදාස්වාදී කටයුතු වල නියැලීම පුද්ගලයෙකුගේ ජීවිතයට ඉතා අගනා ප්‍රතිඵල ගෙන එයි.යමෙක් රෝගී වුවද නීරෝගී වුවද මෙම ක්‍රියාකාරකම් මගින් ලැබෙන ප්‍රතිඵල එක සේ සමාන වෙයි.

සමස්තයක් ලෙස ගත්කල මාංශ පේශි ශක්තිමත් වීම,සමායෝජනය සහ දරාසිටීම ආදී කායික වශයෙන් ඇති ප්‍රයෝජන ගැන බොහෝ දෙනෙක් දැනුවත් වී සිටියද මෙමගින් ලැබෙන මානසිකමය ප්‍රයෝජන ගැන එතරම්ම වටහා ගැනීමක් නොමැති බව පෙනීයයි. 

යහපත් මානසික පසුබිමක් සඳහා ක්‍රීඩා සහ විනෝදාස්වාද කටයුතු වලින් ඇති ප්‍රයෝජන සමහරක් පහත දැක්වේ.

1. විශාදය සහ කාංසාව වැනි තත්වයන් අවම කල හැකි අන්දමට මනෝ භාවයන් උද්දීපනය කිරීම

2. ආතතිය අවම කරවීම

3. සුවදායී නින්දකට මග සැලසීම

4. තීරණ ගැනීම සහ ගැටලු විසඳීමේ හැකියාවන් වැඩි දියුණු කිරීමට අවැසි අන්දමට මොලයේ ක්‍රියාකාරිත්වය උද්දීපනය කිරීම

5. ආත්ම විශ්වාසය සහ ආත්මාභිමානය වැඩිකිරීමකිරීම

6. වේදනාවන් සහ කැක්කුම් සමනය කරදෙන හෙයින් පුද්ගලයා සැහැල්ලු වීම

ක්‍රීඩාවක හෝ විනෝදාස්වාද කටයුත්තක යෙදෙන පුද්ගලයා සැහැල්ලු මනසකින් යුතුව ජීවන අභියෝග වලට මුහුණ දෙයි.ඔහු/ ඇය ධනාත්මක කායික සහ මානසික පෙළඹවීමක් සහිත වන හෙයින් මානසික ආතතීන් ගෙන් තොරවූ වඩා යහපත් ජීවන මට්ටමක් ලබාගනී.

යම් පුද්ගලයෙකු තදබල රෝග තත්වයකින් පෙලෙන්නේ නම් ඔහු/ඇය විශාදය බඳු මනෝ ව්‍යාධීන් වලට ගොදුරු වීමට බොහෝ ඉඩ ඇති බව පැහැදිලි සත්‍යයකි.ක්‍රීඩා සහ විනෝදාස්වාද කටයුතු වලින් පුද්ගලයෙකු ගේ ගැටලුකාරී තත්වයන් යම්තාක් දුරට නිවැරදි කර සකසන හෙයින් ඉහත කී මානසික ගැටලු වලින් වැළකීමට ඉඩ ඇත.

සාමූහික ක්‍රීඩා සහ විනෝදාස්වාද කටයුතුවල යෙදෙන පුද්ගලයා ඔහුගේ සමාජ ජාලය ඒ හරහා වැඩිදියුණු කරගනී.මෙම දේවල් වල යෙදීමේ හේතුවෙන් තව දුරටත් ඔවුන් හුදෙකලා පුද්ගලයන් නොවන අතර, විශාදය බඳු තත්ව ඔවුන්ට තවදුරටත් තර්ජනයන් නොවේ.බෙදාහදා ගැනීම, හුවමාරුව සහ සරල තරඟකාරී බව පුද්ගලයෙකුගේ ජීවිතය සම්පූර්ණ කරදෙයි.

ක්‍රීඩා සහ විනෝදාස්වාද කටයුතු වල යෙදීම තුලින් පුද්ගලයෙකුගේ බුද්ධිමය තත්වයන් කෙරෙහිද මනා සහයක් ලබාදේ.එය මතකය ඇතුලු අවබෝධය සහ බුද්ධිය සම්බන්ධ ගැටලු ඇති පුද්ගලයන් හට එයින් මිදීමට සහය ලබාදෙයි.විවිධාකාර පර්‍යේෂකයන් ක්‍රීඩා/ විනෝදාස්වාද කටයුතු වලින් මිනිස් ජීවිතය ට ඇති බලපෑම සිය අධ්‍යයනයන් හරහා සොයාගෙන ඇත.

මෙම අංශ දෙකෙහි යෙදීම මගින් පුද්ගලයෙකු හට තමන්ගේ හැකියාවන් සහ කුසලතාවයන් ගැන අවබෝධයක් ලබා ගැනීමට ඉඩ සැලසේ. 

එහෙයින් ඔවුන්ගේ ජීවිතය දෙස පසුගාමී අන්දමින් බැලීමෙන් වැලකේ.මෙබඳු පුද්ගලයන් පහසුවෙන් කායික ,මානසික ගැටලු වලට ගොදුරු නොවෙන අතර ඔවුන් තමන් සමාජයට වටිනා පුද්ගලයන් ලෙස අවබෝධ කරගනී.

වැඩිමනත් වෙහෙසකින් තොරව ඔවුන් සමාජයට පලදායී පුද්ගලයන් බවට පත්වීමේ පදනම වන "සහභාගීත්වය" යන මූලික සංකල්පය වටහා ගනී.

යම් කිසි පුද්ගලයෙකුගේ ජීවිතය ට නීරෝගී රුධිර සංසරණයක්, මනා ආශ්වාස ප්‍රශ්වාසයක් සහ ක්‍රියාකාරී සිරුරක් සහ සමානව සුවදායී මනසක් ද අත්‍යාවශ්‍ය වන බව අප අවබෝධ කරගත යුතුය.

පුද්ගලයෙකු තෘප්තිමත් ජීවිතයක් ගතකරයි නම් එය බොහෝමයක් මානසික ආබාධවලින් වැළකීමට සහය වන හොඳම ඔසුව වේ. ක්‍රීඩාව සහ විනෝදාස්වාද කටයුතු වල යෙදීම ඒම ඔසුව ලබාගැනීම සඳහා ඇති හොඳම සායනය වනු ඇත.

ඔබට, ඔබේ පවුලේ සමාජිකයන්ට, ඔබේ මිතුරන්ට හෝ වෙනත් පුද්ගලයෙකුහට ඔවුන්ටම සුවිශේෂ වූ ක්‍රීඩා හෝ විනෝදාස්වාද කටයුතු සම්බන්ධ වැඩසටහනක් සකසා ගැනීම අවශ්‍ය නම් කරුණාකර ඔබේ වෛද්‍යවරයා ,භෞත චිකිත්සක ,වෘත්තීය චිකිත්සක වරයා හමුවන්න.ඔවුන් ඔබට මනා සෞඛ්‍යයක් සහ දිවියේ යහපැවැත්ම පවත්වා ගැනීමට ගැලපෙන අන්දමේ ක්‍රීඩා / විනෝදාස්වාද කටයුතු වලින් සමන්විත වැඩසටහනක් සකස් කරදෙනු ඇත. 


කිත්මා වාසනා දහනායක 

වෘත්තීය චිකිත්සක ආචාර්ය 

භෞත චිකිත්සක සහ වෘත්තීය චිකිත්සක විද්‍යාලය 

ජාතික රෝහල 

කොළඹ


Comments

Popular posts from this blog

06. නිවැරදි ඉරියව් වලින් මනා සුවයක්

09. මේ ගැනත් දැනගන්න ...ඇඳ තුවාල හෙවත් පීඩන තුවාල

15. පිළිස්සුම ගැන කරුණු ටිකක්