18. ඔබේ දරුවා වෙනස් ද....?






දරුවෙක් ගේ සුන්දර ප්‍රියමනාප පෙනුම වගේම ඒ දරුවා හැසිරෙන ආකාරය ගැන දෙමවුපියන් වන ඔබ කෙතරම් දුරට සැලකිලිමත් ද ?මොන තරම් පෙනුමෙන් සුන්දර දරුවකු වුවත් නිවැරදිව හැසිරෙන්න දන්නේ නැත්නම් එහිදී එයට ප්‍රධාන වගකිව යුත්තා ලෙස ලෝකය ඇඟිල්ල දිගු කරන්නේ අම්මේ තාත්තේ ඔබටයි.

සමහරක් විට ලෝකය හැල්මේ දුවයන විට ඔබෙන් වන අතපසු වීම් ඉතා සුළු කොට සලකන්න ඔබ පෙළඹෙන්න පුළුවන්.නමුත් කාලය සමග ඒ සුළු තත්ත්ව මහා තත්ත්ව බවට පත්වී ගැටළුවක් වන්නට පටන් ගත විට අපි විසඳුම් සොයායන්න පටන් ගන්නේ හිස ගිනි ගත් අන්දමට.

මේ එවන් සිදුවීමක්...

මලිති කොළඹ ප්‍රධාන පාසලක තුන් වන ශ්‍රේණියේ ඉගනුම ලබන හරි අපූරු දැරියක්. ඇය පෙනුමෙන් අවුරුදු අටකට වඩා වැඩි පෙනුමක් ගත්තත් ඉතාම සිත් ඇදගන්නා සුළු සුරතල් බවක් නිතරම ඇය වෙතින් දිස් වූවා.

මලිති මා වෙත යොමු වුණේ අහම්බෙන්. මලිතිගේ නෑ සොහොයුරියක් වරක් මා වෙතින් ප්‍රතිකාර ලබාගන්නා ලදුව බොහෝ ගැටලුකාරී තත්ත්ව වලින් මිදී තිබුන නිසා මලිතිවත් මා වෙත යොමු කරන්නට මුලික උපදෙස් දී තිබුනේ ඔවුන්.මලිති ට තිබු ගැටළු තරමක් වෙනස් ඒවා බැවින් මලිතිගේ මව ඇය මා වෙත රැගෙන ඒමට පෙර දුරකතනයෙන් මලිතිගේ ගැටළු සම්බන්ධව දීර්ඝ වශයෙන් විස්තර කර දැනුවත් කරන්නට යෙදුනා .

මෙවැනි දරුවකු සම්බන්ධ ප්‍රතිකාර පටන් ගන්නට පෙර ඇය හෝ ඔහු සම්බන්ධව කරුණු කාරනා රාශියක් දැනගෙන සිටීම වැදගත්.සමහරක් කරුනු දරුවා ඉදිරිපිට විමසන්නට නොසුදුසු ඒවා බවත් ඔබ වටහා ගත යුතුයි.
මලිති සම්බන්ධ ගැටළු වලදී ඇයගේ මව ගෙන හැර පෑ ප්‍රධානම අංගය වුණේ ඇයගේ චර්යාවේ ඇති අසාමාන්‍යතාව්‍යයයි.

මේ සමගම ඇය ඉගනීමට දක්වන මැලිකමද ලොකු ගැටළුවක් වුණා.මලිතිගේ වැඩිමහල් සොයුරිය ඉගනීමට ඉතා දක්ෂ ලෙස සමත් වෙද්දී මලිති ගේ මේ ඉගැනුම් කටයුතු සඳහා දක්වන මැලිකම දෙමවුපියන්ට සහ ගුරුවරුන්හට ඉතා ලොකු ගැටළුවක් වුණා.

ඇයගේ අසාමාන්‍ය චර්යා අතර නිතර බොරු කිම්, සුළු සුළු සොරකම් කිරීම්, නොකඩවා අනුන් හට බාධා ඇතිකිරීම්, අසාමාන්‍ය ලෙස තැනට උචිත නොවන සේ කතා කිරීම ආදී බොහෝ  කරුණු තිබුණා. මේ ගැටළු සම්බන්ධව මලිතිගේ මව මා හා පැවසීමට අනතුරුව මලිති මා හමුවට ගෙන ආවා.

ඉතා මිත්‍රශීලි දැරියක් වුන මලිති සායනයට පැමිණ මා අසලින් අසුන් ගත්තේ මඳ කුලෑටි කමකින් යුතුවයි.මා උපදෙස් දී තිබුන අන්දමට මලිතිගේ මව ඇය ව රඳවා පිටතට ගියා.

මා මලිතිගේ සාමාන්‍ය තොරතුරු සම්බන්ධව , එනම් පවුලේ පාසලේ තොරතුරු සම්බන්ධව විමසමින් ඇය හා සංවාදයක් ගොඩ නගා ගත්තත්, මලිතිගේ පිළිතුරු වල තිබුනේ හරිම අසංවිධානාත්මක බවක්.

අසන පැනයට ඉතා කෙටි පිළිතුරක් දෙමින් ඇය ඉන් ඔබ්බට ඇයට අවශ්‍යවූ හාත්පසින්ම වෙනස් දෙයකට සංවාදය හරවා ගත්තා.ඇය කතාවට ඉතා රුචි වුවත් ඒ මුළු කතාවම එකින් එකට නොගැලපෙන දේවල් ගොන්නක්ම පමණක් වුණා.

මලිතිගේ මව මා හට දැන්වූ ගැටළු සම්බන්ධව මා ඇය සමග කතා කලේ ඉන් පසුවයි.මේ වන විට සාමාන්‍ය කතා බහ තුලින් මලිතිගේ හිත තුළ මා ගැන විශ්වාසයක් ගොඩ නැගෙමින් පැවතුනා.ඇය මා හට පවසන දේ මවට නැවත නොපවසන සේ ඇය පුන පුනාම කියා උන්නා.ඇයගේ එම විශ්වාසය රැකෙන අන්දමට ම ඉතා පරෙස්සමින් කටයුතු කල යුතු වුණා.

මලිති වැනි දරුවන් අද සමාජයේ ඉතා බහුලයි.වැඩිහිටියන් වන ඔබ සහ මා ඇතුළු සියල්ලන්ම නොදැනුවත්කමින් කරන අනර්ථකාරී ක්‍රියාවන් ඇතැම් දරුවන්ට කෙතෙක් දුරට බලපානවාද යන්නට මළිති හොඳම නිදසුනක්.

මලිතිගේ දෙමවුපියන් කොළඹ පෞද්ගලික ආයතන දෙකක විධායක ශ්‍රේණියේ නිලධාරීන්.අතිශය කාර්ය බහුල වුවත් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් තම දරුවන් කොළඹට ආසන්නයේ වූ මිත්තනියගේ නිවසේ සවස් වන තුරුම නවතා ඉන් පසු වැඩ අවසන්ව යනවිට නිවසට කැඳවා ගෙන යාමට පුරුදු වී තිබුණා.

මලිතිගේ මිත්තනිය මුළු දිවා කාලය පුරාම රුපවාහිනිය නැරඹීමට පුරුදුව සිටියා.මලිතිගෙන් මා ඇය පාසල් ගොස් මිත්තනියගේ නිවසට පැමිනි පසු කරන වැඩ කටයුතු ගැන පවසන්නැයි ඉල්ලා සිටිය විට එකකට පසු එකක් රුපවාහිනී වැඩ සටහන් ගැන කියවගෙන යන්නට වුණා.

මේ ලෙසටම මලිති කියවගෙන යද්දී මා හට වැටහුනේ ඇය සියලු පාඩම් වැඩ අතපසු කරමින් රුපවාහිනිය ඉදිරියට වී සිටින බව දෙමවුපියන්ට පවා අයත් මිත්තනියත් වසන් කරන බවයි.මලිති මෙවන් ඇබ්බැහි වීමකට පත් වීම තනිකරම දරුවාගේ දුර්වල කමක් වීමට නොහැකි බව සිහි කල යුතු කරුණක්.මෙයට ප්‍රධාන වශයෙන් බලපාන්නේ වැඩිහිටියන්ගේ චර්යා වන්.

නිතර නිතර පාසල් වැඩ සහ ගෙන යායුතු පොත් පත් අමතක වන බව මලිති කියුවා.ඇයගේ මවද කලින් කියා සිටියේ ඇය නිතරම පොත් පත් නැති කරගන්නා අතර ඒ ගැන විමසු විට බොරු කීමට පෙළඹෙන බවයි.තුන්වන ශ්‍රේණියේ දරුවකු සතුවිය යුතු බුහුටි බව සහ පිළිවෙල ඇයගේ පොත්පත් වල තිබුනේ නැහැ.එමෙන්ම පාසලේදීත් නිවසේදීත් බොරු කීමට සහ සුළු සුළු සොරකම් කිරීමටද ඇය පෙළඹී සිටියා.

මා හා මලිතිගේ මව කලින් කතාබස් කල විට මා හට දැන්වූ අන්දමට ඇය ළමා මනෝ වෛද්‍ය තුමියක් වෙතත් මා වෙත ඒමට පෙර යොමු කරැ තිබුණා.එතුමියගේත් අදහස වී තිබුණේ ඖෂධ ප්‍රතිකාරයකට යාමට පෙර මලිතිගේ චර්යා හැඩ ගැස්විමකට ලක් කළ යුතු බවයි.වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර මාලාවක් මා ඇය වෙනුවෙන් නිර්මාණය කළේ මේ ඔස්සේයි.

වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර යටතේ මලිතිගේ චර්යා සංවිධානය ( Behavioural Modification ) කිරීම සඳහා සරල යෝජනා මාලාවක් මා ඇයට ඉදිරිපත් කළා.
මලිති වැනි දරුවන් හා ක්‍රියාකිරිමේදී ඔවුන්ගේ ආත්ම විශ්වාසය බිඳ නොවැටෙන අන්දමට කටයුතු කල යුතුයි.මලිති සම්බන්ධයෙන් මා ගත් මුල් පියවර ඇයගේ අපිළිවෙල තත්වයට වෙනසක් එක කිරීමේ දෛනික කටයුතු පෙළගැස්මක් කිරීමයි.(Structuring the Day) මෙය මුලිකවම මලිතිගේ අදහස් වලට ගරු කරමින් සිදුකල යුතුව තිබුණා.

දවසේ ක්‍රියාකාරිත්වයන් නිසි කාලසටහනකට අනුව පෙළ ගැස්විමක් කල යුතු වූ අතර එහිදී දරුවා නොසැලකිලිමත්ව ඉටු කල ඇඳුම්, පොත්පත් තැන තැන දැමීම අමතක වීම හා නැතිවීම ආදිය අවම කරගත හැකි බව ඒත්තු ගන්වනු ලැබුවා.

මලිති රූපවාහිනියෙන් මුදවා ගැනීම නම් එතරම් පහසු කාර්යයයක් වුණේ නැහැ. එයින් මා වටහා ගත්තේ ඇය රුපවාහිනි නාට්‍ය වලට කෙතරම් ඇබ්බැහි වීමක් වී ඇත්ද යන්නයි.නමුත් වක්‍ර මාර්ගයෙන් කරන යෝජනා සහ ඉල්ලීම් අනුව ඇය මුලින්ම වැඩසටහන් කීපයක් ඇත හැර දැමීමට එකඟ වුණා.එම කාලය යොදාගනිමින් ඇයට කල හැකි පාඩම් වැඩ සම්බන්ධ ව තීරණයක් ගැනීමට ඇයටම ඉඩ සලසා දෙනු ලැබුවා.

මා මින් අදහස් කරනුයේ දරුවා කියන කරන සියලුම දේ ඒ අන්දමින් පිළිගත යුතු බව නොවේ යයි ඔබ වටහා ගත යුතුය.දරුවාගේ නිවැරදි අදහස් වලට ඉඩ දීමෙන් ඔහු හෝ ඇය ප්‍රතිකාර මාලාවකට අනුගත කරගැනීම පහසු වේ.ඔවුන්ගේ නිවැරදි අදහස් වලට වැඩිහිටියන් වන අප ගරු කරන බවක් වැටහීම ඔවුන්ගේ ආත්ම විශ්වාසය වැඩි කරදීමට ද හේතු වේ. 


මලිතිට පාසල් වැඩ කටයුතු කිරීම සඳහා ඇයගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන නිස්කලංක පරිසරයක් තනා දෙන්නට මම ඇයගේ දෙමවුපියන්ට යෝජනා කළා.මා තේරුම් ගත් අන්දමට මලිතිට ගෝචර වන පාඩම් පරිසරයක් එහි නැතිවීම මේ ඇබ්බැහි වීම් වලට හේතුවක් වුණා.දිනපතා නින්දට පෙර පොත් මේසය සහ බෑගය සැකසීම තුලින් ඇයට අමතක වීම් සහ අතපසු වීම් අවම කරගත හැකි වුණා.

මලිති සම්බන්ධ තරු පුවරුවක් ( star chart )  නිර්මාණය කරන්නට මා ඇයගේ මවට කියා දුන්නා.මෙය ඇයගේ පොත් මේසය ආසන්නයේ නිතර පෙනෙන සේ තැබිය යුතු වූ අතර ඇයගේ සෑම සාර්ථක පියවරක් වෙනුවෙන් ඇයට තරුවක් හිමිවුණා.

ඇයගේ ඉලක්කයන් සපුරා ලු කල ඇයට යම් ත්‍යාගයක් පිරි නමන්නට යෝජනා කරනු ලැබුවා.( token economy  ) මෙය දරුවාට දෙන අල්ලසක් ලෙස වරදවා තේරුම් ගත යුතු නොවේ. මන්ද මේ ක්‍රමවේදය දරුවාගේ යහපත් ක්‍රියා ඉස්මතු කරවීමට යොදාගන්නා දෙයක් මිස අනවශ්‍ය පොරොන්දු දීමක් නොවන හෙයිනි.

මලිති වැනි දරුවන්ගේ චර්යා රටා වල නොගැලපීම් බොහොමයකට හේතු වන්නේ වැඩිහිටියන්ගේ අනිසි ක්‍රියාකාරිත්වයන්.හොඳ නරක නිසි ලෙස අවබෝධ කරගත නොහැකි එමෙන්ම නිසි ලෙස කාලය හා ඉගැනීම තනිව  කළමනාකරණය කර ගත  නොහැකි වයසක සිටින මෙවැනි දරුවන්ට වැඩිහිටියන්ගේ නිවැරදි මග පෙන්වීම ඉතා අවශ්‍යයි.

වැඩිහිටියන් ලෙස සීමාවක් නොමැතිව ටෙලිනාට්‍ය ආදිය නැරඹීමට හුරු වීම දරුවන්ටද ලබා දෙන්නේ අනිසි උත්තේජනයක්.

මලිතිගේ මෙවන් ගැටලුවක්ද ඉස්මතු වෙමින් තිබුණා.වයස අවුරුදු අටක් වුවද ඇයගේ වැඩිහිටි පිරිමි පාර්ශ්වයන් වෙත අනවශ්‍ය ආකර්ෂණයක් ද දකින්නට ලැබීම මා තුලත් සියුම් තැති ගැන්මක් ඇති කළා.මෙවන් වයසකදී මෙවැනි දේ නිසා ඇතිවිය හැකි භයානක ප්‍රතිපල ගැන අමුතුවෙන් ලිවිම අවශ්‍ය නැහැ.

දරුවන් සම්බන්ධ චර්යාත්මක ගැටළු වලදී මුළු පවුලම එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා.අන්‍යොන්‍ය අවබෝධය මගින් මෙවන් ගැටළු බොහොමයක් පහසුවෙන් නිරාකරණය කරගත හැකියි.

මේ සියලු යෝජනා මාලාවන් සමග මලිති වෙත සරල ලෙසින් අවවාදාත්මක උපදෙස් කිහිපයක් දෙනු ලැබුවේ, බොරුකීම ආදියේ අනිටු විපාක පැහැදිලි කරදෙමින්.සති තුනකට පමණ පසු දුරකථන ඇමතිමකින් මලිතිගේ මව මා හා පවසා සිටියේ වෙනදාට වැඩ යම් ප්‍රමාණයක හැසිරීම් රටාවේ වෙනසක් මලිතිගෙන් විද්‍යාමාන වන බවයි.

මෙවන් දරුවන්ගේ චර්යා රටා සහ පුරුදු පුහුණු වූ ගති ලක්ෂණ වෙනස් කිරීම එතරම් පහසු නැහැ.නමුත් ඉවසීමෙන් සහ පිළිවෙලකට අනුව ක්‍රියා කලවිට දරුවන් අනිසි දෙයින් මුදවා ගත හැකියි.

ඔබ ඔබේ දරුවාට නිවැරදි පුර්වාදර්ශය වන්න.එතැනින් පටන් ගත් කල ..
නොහැක්කක් නොමැති බව ඔබටම වැටහෙනු ඇත.


Comments

Popular posts from this blog

06. නිවැරදි ඉරියව් වලින් මනා සුවයක්

09. මේ ගැනත් දැනගන්න ...ඇඳ තුවාල හෙවත් පීඩන තුවාල

15. පිළිස්සුම ගැන කරුණු ටිකක්