05. අලුත උපන් දරුවෙක් ගැන ඔබේ අවධානය



හැම දෙමවුපියෙක්ගේම සුන්දර ම බලාපොරොත්තුව නිරෝගී දරුවෙක්.

දරුවෙක් කළලයක් සේ මව් කුසට පැමිණි දා පටන් මවත්, පියාත්, ඔවුන් සමග සිටින සියලුම දෙනාත්  විමසිලිමත් වන්නේ දරුවාගේ උපත ගැනයි.නිවැරදි වෛද්‍ය උපදෙස් මත , පෝෂණීය ආහාර ,විවේකය සහ ගැලපෙන සරල ව්‍යායාම් රටාවල නියැලෙන මවකට දරු උපත ගැන කිසිදු අනවරත බියක් ඇතිකර ගත යුතු නොවේ.

මාස 10කට ආසන්න කාලයක් ගත කල පුර්ණ සංවෘත ආරක්ෂාකාරී ලෝකයට සමු දෙමින් දරුවෙක් උපත ලබයි.ඉන් පසුව පවතින්නේ අභියෝග, දුෂ්කරතා සහ ගැහැට බහුල වන විවෘත ලෝකයකි. .ඉතාම සුළු අතපසු වීමකින් වුවද විශාල හානිදායක ප්‍රතිපලයක් ඇතිවෙන්නට පුළුවන්.

අවාසනාවන්ත අන්දමින් යම්කිසි හෝ ගැටලුවකට මුහුණ පාන බිළිඳා ආබාධ සහිත තත්වයට පත්වීම වලක්වා ගැනීමට නම් ,හැකිතාක් දුරට මනා සෞඛ්‍ය පුරුදු හා යහපත් ආරක්ෂාකාරී දිවි පෙවෙතක් ඔබ ගත කල යුතු වෙනවා.අනර්ථකාරී ජිවන රටා (දුම්පානය, මත්ද්‍රව්‍ය සහ මත්පැන් පානය ,නුසුදුසු ආහාර ) වලින් මිදීම මේ සඳහා පෙර සුදානමකි.නමුත් අනපේක්ෂිත තත්ත්ව සහ නොවැලක්විය හැකි හේතුන් මත දරුවා විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක් බවට පත්විම සිදුවිය හැක.

මුලිකවම දරුවකු නිරීක්ෂණය කල යුත්තේ මවය.මන්ද අලුත උපන් බිළිඳා සමග වැඩිම කාලයක් ගත කරන්නේ ඇය හෙයිනි.දරුවා උපතට පෙර යම් සංකුලතාවයකින් පෙලෙයි නම් එය බොහෝ විට වෛද්‍ය පරීක්ෂණ මගින් ( scan ) හඳුනා ගත හැකි වනු ඇත .දරුවා උපතේදී යම් ගැටලුවකට මුහුණ පෑව හොත් අදාළ කාර්ය මණ්ඩලය ඒ සම්බන්ධව මනා දැනුවත් කිරීමක් ඔබට ලබාදේ.උපතේදී ඇති වන සංකුලතා සහ ගැටළු සමග දරුවා ඉදිරි ජීවිතයේදී මුහුණ පාන ගැටළු ගැන සාමාජිකයින් දැනුවත් විය යුතුය .මෙවැනි හේතුන් නිසා ඇති වන වලිප්පුව ( fits) ආදී දීර්ඝ කාලීන ගැටළු වලට නිසිකල නිසි ආකාරයෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු වේ.

දරුවකු මෙලෙස ගැටළු සහගත තත්වයන්ට පත්වීමේදී ඔවුන්ගේ ශාරීරික,මානසික, චර්යාමය සහ අවබෝධාත්මක යනාදී විවිධ අංශවල ගැටළු සහ සංකුලතා ඇතිවේ.

දරුවකු ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන විට එම දරුවාගේ වර්ධනයේ ගැටළු තිබේද යන්න වටහා ගැනීමට නම් , සාමාන්‍ය දරුවකු අදාල පියවර/ වයස් ඛාණ්ඩ වල ඉටු කරන කාර්යයන් ගැන මනා අවබෝධයක් ඔබට තිබිය යුතු වේ .

මෙය ඔබට ළදරු සායන කාඩ්පත සමග ඉතා පහසුවෙන් වටහා ගත හැකි වන සේ ඉදිරිපත් කරන අතර ඊට අමතරව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය , ළමා රෝග වෛද්‍යතුමා, ඔබගේ වෘත්තීය චිකිත්සක/ භෞත චිකිත්සක/ කථන හා භාෂා චිකිත්සක නිලධාරීන් වෙතින් විමසා දැන ගත හැකි වේ.

මනා පළපුරුද්දක් ඇති වැඩිහිටියන්ගෙන්ද මේ සම්බන්ධව කරුණු විමසා වටහා ගත හැක.

උපතේ සිට මාස 18ක් දක්වා ගතවන කාලය තුළ දරුවකුගේ චාලක ක්‍රියාකාරකම් පැහැදිලි ලෙස වර්ධනය වේ.ප්‍රධාන චාලක ක්‍රියාකාරකම් වන හිස් කෙලින තබා ගැනීම, පැත්තෙන් පැත්තට පෙරළීම,මුනින් අතට පෙරළීම,බඩගෑම, දණගෑම,ඉඳ ගැනීම, උදව් ඇතිව/ නැතිව  සිටගැනීම , ඇවිදීම ආදිය මුල් වසර එකහමාර තුළ සිදුවේ.

ඔබ සාමාන්‍ය දරුවකු ඉහත පියවරවල් වලට පැමිණීම සිදුවිය යුතු කාල පරාසයන් ගැන මනා අවධානයකින් සිටි නම් , විශේෂ අවශ්‍යතා ඇති දරුවකු එයින් පසුගාමී වන අන්දම මනාව වටහා ගනු ඇත.

උදාහරණයක් ලෙස : සාමාන්‍ය දරුවකු මාස 3-4 වන විට හිස සෘජුව තබා ගන්නට සාර්ථකව උත්සාහ කලත් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් එයට අසමත්ය .
සෙසු චාලක ක්‍රියාකාරකම්ද මෙම ආකාරයට පසු ගාමී වේ නම් ඔබ ක්‍රියාත්මක විය යුතුය.

කුඩා දරුවෙකු මනාව නිරීක්ෂණය කිරීමේදී දරුවාගේ ඇස්වල චලන, මුඛයේ පිහිටීම හා විකෘතිතා , අසමානතා, අත් පා සන්ධිවල විකෘතිතා මෙන්ම මාංශ පේශිවල අසාමාන්‍ය තද ගතිය හෝ බුරුල් බව ඔබට දරුවාගේ ගැටළු සහගත බව ගැන ඉඟි ලබා දේ .මෙබඳු තත්ත්ව යටතේ දරුවකු සාමාන්‍ය චාලක ක්‍රියා කරන්නට ප්‍රමාද වේ නම් , ඔබ පළපුරුදු වෛද්‍ය කාර්ය මණ්ඩලයක් වෙත යොමු විය යුතු ය.

මේ අන්දමින්ම දරුවාගේ සංවේදනයන් ද ඔබ විසින් අවබෝධ කරගත යුතු වේ.සංවේදන ඉන්ද්‍රියයන් මගින් පරිසරය, පුද්ගලයන් සහ තමා අතර අන්තර් සම්බන්ධතාවය පවත්වා ගන්නා දරුවා, එය බිඳී යාමෙන් ගැටළු රැසකට මුහුණ පායි.

මේ සම්බන්ධව ගත් කල ඔබ , සාමාන්‍ය දරුවෙකු සංවේදනයන්ට ,විශේෂයෙන්ම සම හරහා ශරීරයට ලැබෙන ස්පර්ශ සංවේදනයන්ට ප්‍රතිචාර දක්වන අන්දම ගැන මනා අවබෝධයකින් සිටිය යුතු වෙයි.ස්පර්ශය සම්බන්ධව ගත් කල දරුවා එයට අධිකව හෝ අවමව ප්‍රතිචාර දක්වනු ඇත.එවිට ඔබ එම නිරීක්ෂණයන් ඔබගේ වෛද්‍යවරයා හෝ චිකිත්සක වරයා වෙත ප්‍රකාශ කල යුතු වේ.


උදාහරණයක් ලෙස දරුවා කිසිදු සෙල්ලම් බඩුවක් අත්වලින් අල්ලා නොගනියි නම් එය ගැටළුවක් වේ.තවත් සමහර දරුවන් තම මව,පියා පවා ඔවුන්ගේ අත්,පා අල්ලනවාට ප්‍රතිරෝධී වේ.මෙයද සංවේදන ගැටලුවකි.මෙම ගැටලුකාරී අවස්ථා ඔබ මනාව නිරීක්ෂණය කොට ග්‍රහණය කර ගත යුතුඒවාය.

මෙයට අමතරව පෙනීම (දෘෂ්ටිය) සම්බන්ධව ද විමසිලිමත් වීම ඉතා වටියි.දරුවා ඉපදී සති තුනක් පමණ ගතවන විට දීප්තිමත් ආලෝකයට ප්‍රතිචාර දක්වන අතර ක්‍රමානුකුලව මිනිස් මුහුණු ,වර්ණවත් සෙල්ලම්බඩු හා චලන දෙස නෙත් යොමයි.දරුවාගේ එම ක්‍රියාවලි නිසි ලෙස නොවේ නම් ඔබ වෛද්‍ය උපදෙස් හැකි ඉක්මනින් ලබාගත යුතුවේ.ඇතැම් දරුවන්ගේ සියුම් වපර තත්වයන්ද ඇස්වල දැකිය හැකි අතර එම තත්ත්ව සමහර විට එන්න එන්නම වැඩි වෙන තත්වයක් පවතින්නට ඉඩ ඇත. මෙය පෙනීමට බාධාවක් විය හැක.එම නිසා එය පෙනීම සම්බන්ධ මුල් ප්‍රතිකාර ගත යුතු තත්වයක් වේ. 

ශ්‍රවණය ( කන් ඇසීම ) ද එලෙසමය.දරුවා උපතේ සිටම ශබ්දයන්ට ප්‍රතිචාර දක්වන හෙයින් වයසින් වැඩෙත්ම දරුවා හඬට, සංගීතය ට කෙතෙක් දුරට අවධානය දෙයි ද යන්න ගැන සැලකිලිමත් වීම වටියි.දරුවා හඬ එන දෙසට නොහැරේ නම් , හඬට ප්‍රතිචාර නොදක්වයි නම් එයද මුලිකවම ප්‍රතිකාර ගත යුතු තත්වයකි.

චාලක සහ සංවේදන ගැටළු මෙන්ම දරුවාගේ අවබෝධය සහ චර්යාව පිලිබඳව ද දෙමවුපියන් දරුවාගේ මුල් වසර තුල මනා නිරීක්ෂණයක් කලයුතු වේ .උපතේදී ගැටළු දක්වන දරුවන් මෙන්ම බාහිර පෙනුමෙන් කිසිදු වෙනසක් නොදක්වන සමහර දරුවන්ද ,ඔටිසම් වැනි ගැටලුකාරී තත්ත්ව මත මෙවැනි අසීරුතා වලට මුහුණ පායි.

එවැනි දරුවන් සන්නිවේදන, චර්යා රටා සහ අවබෝධයේ මුලික අවශ්‍යතා , පියවර සපුරන්නේ නැත. එසේත් නැත්නම් ප්‍රමාදවී සපුරයි.ඔබ ඉහත කි හැම අංශයකම එනම් චාලක, සංවේදන,චර්යා ,සන්නිවේදන සහ අවබෝධතා යන අංශ වල වර්ධනයන් ගැන මනා අවබෝධයකින් සිටීම ඉතා වැදගත්ය .

දරුවන් සැමවිටම එකිනෙකට වෙනස් ය .වර්ධනයේදී ත් එකම රටාවක වර්ධන පියවරවල් වලට  සමපාත  වන දරුවන් නැත. එබැවින් අනවශ්‍ය කලබල වීම්, දැඩි සංසන්දනයන් කිරීම් උචිත නොවේ.ඔබ සැමවිටම සුපරික්ෂාකාරී නිරීක්ෂකයෙකු වීම වැදගත් වේ.

2017/ 09/ 08


Comments

Popular posts from this blog

06. නිවැරදි ඉරියව් වලින් මනා සුවයක්

15. පිළිස්සුම ගැන කරුණු ටිකක්

09. මේ ගැනත් දැනගන්න ...ඇඳ තුවාල හෙවත් පීඩන තුවාල