19. ඔබේ දරුවා සායනයට ගෙන යන විට


ඔබේ දරුවා ගැන ඔබ සටහන් තබාගන්නවාද ?


ඔබේ විශේෂ දරුවා විවිධ සායන සඳහා ඔබට  රැගෙන යන්නට සිදුවේ.

එම සායන සතියකට වරක්, මසකට හෝ මාස තුනකට වරක් ලෙසින් කාල පරතර අනුව ගෙන යා යුතු වේ.ඔබ එක වරක් සායනයකට ගොස් ඊළඟ වතාවට සායනයට යන විට මුල් සායනයෙදි ඔබට දුන් උපදෙස් කෙතෙක් දුරට ඔබට මතකයේ රැඳේ දැයි ඔබ සිතන්න.

බොහෝ විට වෛද්‍ය කාර්ය මණ්ඩලය ට ඔබේ දරුවා එක් දරුවෙක් වන අතර පළමු වතාවේදී ඔබේ දරුවා සම්බන්ධ කරුණු කාරනා ඊළඟ වතාවේදී ඔවුන් යළි විමසන්නේ ඔබ විසින් සම්පාදනය කරන කරුණු මතය.ඒ හැරුණු විට යම් යම් ලිඛිත සටහන් ඔබ වෙත ලබා දෙනු ඇත.නමුත් ඔබ නිසි ආකාරයෙන් මෙම සටහන් තබා නොගත්තේ නම් එම සටහන් කොළ ගොඩක් පමණක් වනු ඇත.

ඔබ ඔබේ දරුවා ගේ ලිපි ගොනුවක් මනා ලෙස සකසා තබාගත යුතුය.මා වෙත රැගෙන එන ඇතැම් දරුවකුගේ වෛද්‍ය වාර්තාවක් නිරීක්ෂණය කරන්නට ඉල්ලීමේදී දෙමව්පියන් එම ලිපි ගොනු අදිමින් වෙහෙස වන ආකාරයට අනුව ඔවුන් මෙන්ම මාද ඉතා අපහසුතාවයට මෙන්ම කාලය නාස්ති වීමකටද ලක්වේ.චැනල් බිල්, ඖෂධ තුන්ඩු වැනි අනවශ්‍ය කොළ කැබලි ඔබගේ ලිපි ගොනුව පුරා දැනටමත් විසිරි තිබෙන්නට පුළුවන.

ඔබ විසින් මේ සරල පියවර කිහිපය ඒ සඳහා අනුගමනය කර බලන්න.

දරුවාගේ විවිධ සායන සඳහා වෙනම ලිපි ගොනු තබා ගන්න.එම ලිපි ගොනු සිත් ඇදගන්නා සුළු ලෙස තබා ගන්න.ඔබේ දරුවා විශේෂ දරුවකු වූ පමණින් ඔහු හෝ ඇය සම්බන්ධ සියලුම දේ නොසැලකිලිමත් ලෙස තබා නොගත යුතුය.ඔබේ දරුවා ගැන ඔබ කෙතෙක් සැලකිලිමත් ද යන්න එම ලිපි ගොනුව දෙස බැලීමෙන්ම වටහා ගත හැකිය.

ඔබට ලිපි ගොනු වෙන් කර තබා ගැනීමට විවිධ වර්ණ භාවිත කල හැකියි.එම අදාල ලිපි ගොනුවට අඩංගු වන කරුණු සහ විවිධ වාර්තා ආදිය දින පිළිවෙලට අනුව ගොනුවට අමුණන්න.

දරුවා සම්බන්ධ විවිධ පරීක්ෂණ සහ එයට අදාල වාර්තා ඔබ අනුපිලිවෙලට අමුණා ගැනීමෙන් ඒවා පරිශීලනය ඉතා පහසු වේ.එමෙන්ම ඉතාම පරණ වාර්තා වෙනම පවත්වා ගන්න..ලිපි ගොනු අනවශ්‍ය ලෙස විශාල වීම ඔබට කරදරයකි.

වෘත්තීය චිකිත්සක වරියක් ලෙස සාමාන්‍යයෙන් මා අනුගමනය කරන ප්‍රතිකාර පිළිවෙලෙහි දෙමවුපියන්ට නිවසේදී පවත්වාගෙන යා යුතු ක්‍රියාකාරකම් මාලාවක්ද සැපයේ .

සමහරක් දෙමවුපියන් මේ සඳහා වෙනම පොතක් රැගෙන එන අතර ඇතැම් අය කොළ කැබැල්ලක ඒවා ලියගනිති.නමුත් එම කොළ කැබලි අස්ථාන ගත වීමේ අත්දැකීම් ඉතා වැඩි හෙයින් මම බොහොමයක් දෙනා හට පොතක් රැගෙන විත් ඒවා ලියා ගන්නා ලෙස පවසමි.ඇතැම් ක්‍රියාකාරකම් ඔබ විසින් වාර්තා තබා ගත යුතු වේ.

ඔබේ දරුවාගේ පියවරෙන් පියවර ලැබෙන දියුණුවීම් ඔබට සියල්ලම දින වකවානු සමග මතකයේ තබා ගත නොහැක.ඒවා සටහන් තැබීම වැදගත් වන්නේ එබැවිනි.සමහරක් සටහන් වගු ලෙස තබා ගත හැකිය.දින සටහන් ලෙස දරුවාගේ චර්යාව සටහන් කිරීමටද සමහර විට ඔබට සිදු වේ.මේ සඳහා ඔබට දිනපොතක් හෝ ඒ හා සමාන පොතක් තබා ගත හැකිවේ.

දරුවාගේ ඉතාම සුළු දියුණුව පවා සටහන් තබා ගන්න.එය ඔබට මෙන්ම දරුවාටද හොඳ උත්තේජයක් වන අතර, ඔබේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටද ඉදිරි වැඩ සටහන් පවත්වා ගැනීමට රුකුලක් වේ.එමෙන්ම දරුවාගේ සටහන් සියල්ල ආරක්‍ෂිත සහ පහසුවෙන් රැගෙන යා හැකි ගමන් මල්ලක රැගෙන යන්න.එසේ නොමැතිව ලිපිගොනු සහ දරුවා යන දෙකම අතේ ගෙනයාම නිසා ඔබ අපහසුතාවයට පත්වේ.

මෙම කරුණු කිහිපය ඔබ හොඳින්ම දන්නා නමුත් බොහොමයක් දෙමව්පියන් අතින් නොකෙරෙන මෙන්ම අතපසු වන ඒවා හෙයින් මෙලෙස සටහන් කර තබමි.



Comments

Popular posts from this blog

06. නිවැරදි ඉරියව් වලින් මනා සුවයක්

09. මේ ගැනත් දැනගන්න ...ඇඳ තුවාල හෙවත් පීඩන තුවාල

15. පිළිස්සුම ගැන කරුණු ටිකක්