26. විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ මුලික අධ්‍යාපන ක්‍රමය අරඹන්නේ කෙසේද.?






විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ  මුලික අධ්‍යාපන ක්‍රමය අරඹන්නේ කෙසේද.?

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ගත්කල ඔවුන්ගේ තවත් එක් මූලික අයිතිවාසිකමක් වන්නේ ගැලපෙන අධ්‍යාපනයක් ලැබීමයි. සාමාන්‍ය දරුවෙකු හට ඇති අධ්‍යාපන ලැබීමේ අයිතිය මෙම කාණ්ඩයට අයත් දරුවෙකුට නොලැබීම අද සමාජයේ පැහැදිලිව දකින්නට ලැබෙන තත්වයක්.
සාමාන්‍ය වර්ධන රටාවකට උරුමකම් කියන දරුවකු සහ විශේෂ අවශ්යතා සහිත දරුවකු අතර පැහැදිලි කායික, මානසික, චර්යාත්මක සහ අවබෝධාත්මක අංශ වල වෙනස්කම් පවතින අතර අධ්‍යාපන ක්‍රමවේදයක් සැකසීමේදී මේ සියලුම අංශ ගැන ඉතාම අවධානයෙන් සලකා බැලිය යුතුය.

සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමවේදයට  අන්තර්කරණය කළ හැකි විශේෂ අවශ්‍යතා සහිත දරුවන් යම් ප්‍රමාණයක්  සිටියද බහුල වශයෙන්ම අපට හමුවන්නේ ඉගැනුම් අංශයේ විවිධාකාර ගැටලු පවතින දරුවන්. ඔවුන් සඳහාම සැකසිය යුතු අධ්‍යාපන ක්‍රමවේදයක් සම්බන්ධව දෙමවුපියන් , ගුරුවරුන් මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ද අවධානය යොමු කිරීම වැදගත්.

විශේෂ අවශ්‍යතා සහිත දරුවෙක් තමන්ගේ මූලික අධ්‍යාපන ආරම්භ කරන්නේ නිවසින්. සාමාන්‍ය  වර්ධන රටාවක් ඇති දරුවෙකුට වඩා වැඩි කාලයක් ඉගැනීම සම්බන්ධ මූලික අවශ්‍යතාවයන් සපුරන්නට ඔවුන්ට වැය කරන්නට සිදුවීම අරුමයක් නොවෙයි. කායික, මානසික, අවබෝධාත්මක සහ චර්යාමය ගැටලු වගේම සමාජීය ආකල්ප, පහසුකම් සහ ඉඩ ප්‍රස්ථාද මේ කාරණයේදී එම  ප්‍රමාදයට හේතු වෙනවා.

දරුවෙකුගේ ඉගනීම යනුවෙන් මූලිකවම කෙනෙක් අදහස් කරන්නේ පොතපත සහ විෂය මාලා අධ්‍යයනය  ගැන වුවත් විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සම්බන්ධව ඉගනීම කියන කාරණය ඊට වඩා පුලුල් පරාසයකට විහිදෙන්නක් වෙනවා.
මූලිකවම දරුවාගේ හැකියාවන් සම්බන්ධව මෙන්ම කැමැත්ත , කුසලතා සහ දක්ෂතාවයන් දෙමවුපියන් විසින් අවබෝධ කරගත යුතු වෙනවා. අධ්‍යාපන ආයතනයකට , එනම් මූලිකවම  ගත්කල පෙර පාසලකට සහ ඉන් පසු ප්‍රාථමික  පාසලකට යවන්නට පෙර දරුවා ඉගනීමට සූදානම්ද , ඒ සඳහා පෙර පුහුණුවක් නිවසේදීම දිය යුතුද යන්න විමසා බැලීම වැදගත්.

දරුවාගේ කායික කුසලතා හෝ හැකියාවන්, විශේෂයෙන්ම ගත්කල නිවැරදි ඉරියව් ගත වීම්,අත්පා නිවරදිව හැසිරවීම්, චාලක කටයුතු, පෑන- පැන්සල- පොත නිවැරදිව ග්‍රහණය  කළ හැකි වීම, දළ සහ සියුම් චාලක කටයුතු, සමායෝජනය ආදී බොහොමයක් කාරණා මූලිකවම බලන්නට සිදුවෙනවා.
ඉතින් මෙහිදී දරුවාගේ යම් කායික ගැටලුවක් තිබේ නම් එයට  ප්‍රතිකාර  ගන්නා අතරම නිවසේදී දරුවා නිවරදිව ඉරියව් ගත කිරීම සහ සරල කායික ක්‍රියාකාරකම්  වල යෙදවීම ඉතාම වැදගත් වෙනවා.එය මූලිකව අධ්‍යාපන කටයුතු වලට පෙර පුහුණුවක්. ගෘහස්ථ ක්‍රීඩා සහ ක්‍රියාකාරකම් මෙන්ම නිවසෙන් බැහැරව ක්‍රීඩා සහ ක්‍රියාකාරකම්වල දරුවා යොදවා හුරු කරවීම ඉතා වැදගත්.

කායික තත්ව මෙන්ම මානසික සහ චර්යාත්මක පෙර පුහුණුවක් විශේෂ අවශ්‍යතා සහිත දරුවෙක්ට ඉතා වැදගත්. දරුවා පෙර පාසලක සෙසු දරුවන් හා මුසු කරවීම තරමක් අසීරු වන්නට හැකියි. මන්ද සාමාන්‍ය දරුවෙකුට වඩා ඔවුන්ගේ සමාජ අනුගතවීමේ ගැටලු රාශියක් පවතින හෙයින්.

මෙහිදී දරුවාට තදබල චර්යා ගැටලු එනම් අධික කෝප වීම. සෙසු අයට පහරදීම්, සපාකෑම් වැනි චර්යා වේ නම් ළමා මනෝ වෛද්‍ය  වරයෙකුගේ උපදෙස් සහ ප්‍රතිකාර  ලබාගෙන ඉන්පසු චර්යා ගොඩ නැගීම් චිකිත්සක උපදෙස් මත කළ හැකියි. ඒ වගේම සරල ක්‍රියාකාරකම් සහ සමාජයට හුරුකරවීම්, උදාහරණයක් ලෙස ළමා පිට්ටනියකට, උත්සව ආදියට දරුවාගෙන යෑම් ආදිය කිරීමෙන් දරුවාට අනාගත අධ්‍යාපන රටාව වෙත හුරුවීම පහසු කරදිය හැකියි.

අවබෝධාත්මක කුසලතා යනු අධ්‍යාපනට ඉතාම අවශ්‍ය දෙයක්.මෙහිදී දරුවකුගේ මතකය, තර්කානුකූල සිතීම, අවබෝධය,ගණනය කිරීම, වෙනස්කම් හඳුනාගැනීම ආදී විවිධාකාර වූ කුසලතා ගැන තේරුම් ගත යුතු වෙනවා. විශේෂ අවශ්‍තා සහිත දරුවකුගේ මෙම අවබෝධතා මට්ටම් සාමාන්‍ය දරුවෙක්ගේ මට්ටමට වඩා වෙනස් මානයන්හි පැවතීම,සාමාන්‍ය අධ්‍යාපන රටාවට එම දරුවන් යොමු කිරීමට නොහැකි වන ප්‍රධාන ගැටලුවක් වෙනවා.

එබැවින් පෙර පාසලකට හෝ ප්‍රාථමික පාසලකට යොමු කිරීමට පෙර නිවසේදීම දරුවාගේ අවබෝධතාවය වැඩි දියුණු කරන ක්‍රියාකාරකම් වලට දරුවා යොමු කරන්නට දෙමවුපියන් උත්සුක විය යුතුයි. ඒ සඳහා නිවැරදි මග පෙන්වීම ඔබට වෘත්තීය චිකිත්සක නිලධාරියකු වෙතින් ලබා ගත හැකියි. සරල ප්‍රහේලිකාක්‍රියාකාරකම් ආදිය ඇතුලු බොහෝ ක්‍රමවේදයන්  මේ සඳහා යොදාගන්නට පුලුවන්.

විශේෂ අවශ්‍යතා සහිත දරුවකුගේ මූලික අධ්‍යාපනට ඔවුන් හැඩ ගැස්වීමට කටයුතු  කරන දෙමවුපියන් සැලකිලිමත් විය යුතු තවත් වැදගත්ම කාරණාවක් වන්නේ ඔවුන්ගේ දෛනික කටයුතු වල දරුවා කෙතෙක් දුරට ස්වාධීනද යන්නයි. මන්ද දරුවා අධ්‍යාපන සඳහා පැය ගණනාවක් බාහිර ස්ථානයක ගත කරන කාලය තුළ සාමාන්‍යයෙන් ඉටු කරගත යුතු ආහාර ගැනීම, වැසිකිලි යාම ආදී අවශ්‍යතා කෙතෙක් දුරට ඔවුන් හට තනිව ඉටු කරගන්නට හැකිද යන කාරණය ද දරුවාගේ ඉගනීමේදී ඉතා වැදගත් ස්ථානයක් ගන්නා හෙයිනි. එබැවින් දරුවන්ගේ වයසට සහ හැකියාවන්ට ගැලපෙන ලෙස දෛනික කටයුතු වලට දරුවා පුහුණු කරවීමද කල යුත්තක්.
ලිපියෙහි මෙලෙස පොදුවේ සඳහන් කළත් දරුවාගෙන් දරුවාට මෙය වෙනස්වන කාරණා සමූහයක්. එබැවින් ඔබේ දරුවාගේ විශේෂ අවශ්‍යතා හඳුනාගැනීමත් ඒ සඳහා පිළියම් වෙනමම සකසා ගැනීමත් ඔබේ වෛද්‍යවරයා/ වෘත්තිය චිකිත්සක වරයා හරහා කරගත යුතු වෙනවා.
දරුවකුගේ සහජ කුසලතාවයන් සහ හැකියාවන් ඔවුන්ගේ රුචිකත්වය සමග මුසු කර නිවැරදි ගැලපෙන ආරම්භක අධ්‍යාපන රටාවකට ඔවුන් පෙළඹවීම තරමක් අසීරු සහ වෙහෙසකාරී කාරණයක් වුවත් , රැල්ලට සහ තරඟ කාරී අධ්‍යාපන ගමනට වඩා එය ප්‍රතිඵලදායක සුන්දර ගමනක් වනු ඇති.

කිත්මා වාසනා දහනායක
වෘත්තිය චිකිත්සක ( ආචාර්ය )
භෞත චිකිත්සක සහ වෘත්තිය චිකිත්සක විද්‍යාලය
ජාතික රෝහල
කොළඹ

Comments

Popular posts from this blog

06. නිවැරදි ඉරියව් වලින් මනා සුවයක්

15. පිළිස්සුම ගැන කරුණු ටිකක්

09. මේ ගැනත් දැනගන්න ...ඇඳ තුවාල හෙවත් පීඩන තුවාල