30. ඔබේ සන්ධි වේදනාකාරීද ?

 ඔබේ සන්ධි  වේදනාකාරීද ?




අස්ථි පර්ව දාහය එනම් සුලබ ව්‍යවහාරයේ අද කියවෙන ඔස්ටියෝ ආතරයිටිස් කියන්නේ සන්ධිවලට ඇතිවන ආබාධ තත්ත්වයක්. මෙහිදී සරළවම කිවහොත් මූලිකවම සිදුවන්නේ සන්ධියක් සැදුණ අස්ථි දෙක / තුන කෙළවර ඇති කාටිලේජ ගෙවීයාමයි. 

කාටිලේජයක් හරියටම කිවහොත් සන්ධියක ආරක්ෂාවට තිබෙන ආවරණයක් වගේ . එය ගෙවී යාමට පසුව සන්ධියෙහි ඇති අස්ථීන් පවා ගෙවී විරෝධනය වී හානි තත්ත්වයට පත්වෙනවා. මේ හේතුවෙන් සන්ධියක ඇති ක්‍රියාකාරිත්වය මෙන්ම සුනම්‍ය බව නැති වීමත් සිදු වෙනවා.

අස්ථි පර්ව දාහය බහුල ලෙසම හට ගන්නේ අප ශරීරයේ මඳක් විශාල එමෙන්ම බර දරා සිටින සන්ධිවලට. 

උදාහරණ : උකුල් සන්ධි ,දණහිස්, ඇඟිලි කොඳු ඇට

අස්ථි පර්වදාහය ඇති බොහෝමයක් දෙනා තමාගේ සන්ධි චලනයේදී හඬක් නැගෙන බවත් ප්‍රකාශ කර සිටිනවා.

අස්ථි පර්වදාහය බහුලවම ඇති වන්නේ තරමක් වයස්ගත පුද්ගලයන්ටයි. වයස්ගත ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම මෙය වැළඳිය හැකි වුවත් අවුරුදු 50 ඉක්ම වන කාන්තාවන්ට වැළඳීමේ ඉඩකඩ වැඩියි . ස්ථුලතාවය යනු අස්ථි පර්ව දාහය බරපතළ තත්ත්වයට පත් කරන්නක්.

ඊට අමතරව අස්ථි පර්වදාහය අවදානම් කලාපයට ඇතුල් කරන තවත් විවිධාකාර හේතූන් ඇත.

🔸ක්‍රීඩා හෝ වැටීම් තැලීම් ආදිය නිසා සන්ධිවලට පෙර දවසක වූ හානි

🔸වයස්ගත අය අවුරුදු 50 ට පමණ වැඩි

🔸ස්ථුලභාවය අධික වීම

🔸වෙනත් රක්තවාත රෝග ආදියෙන් යුතුවීම

🔸අධික ලෙස වෙහෙස දනවන ක්‍රියාවල / ක්‍රීඩාවල යෙදෙන අය

අස්ථි පර්වදාහය රෝගයේ රෝග ලක්ෂණ වනුයේ සන්ධිය ආශ්‍රිතව ඇතිවන තදබල වේදනාව, සන්ධි ඉදිමීම සහ සන්ධිය තද ගතියයි. 

අස්ථි පර්වදාහය ට අදාළ රෝග ලක්ෂණ ඇති වූ විට රක්තවාත රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත යාම අවශ්‍ය වේ. මෙහිදී අදාළ වෛද්‍යවරයා විසින් එක්ස්කිරණ ,රුධිර පරීක්ෂාව ආදියට එම පුද්ගලයා යොමු කොට ඔහුට වැලඳී ඇත්තේ අස්ථි පර්වදාහය ද යන්න තහවුරු කරගන්නවා . මේ සඳහා වේදනාව සහ ඉදිමුම සමනය කරන්නට සහ රෝගය තවදුරටත් වැඩි වීම වළක්වන්නට ඖෂධ ප්‍රතිකාර ලබා දෙන අතර ඊට අමතරව භෞත චිකිත්සක සහ වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර ද රෝගියා වෙත ලබා දෙනවා .රෝගය තදබල ලෙසම වැඩි වී සන්ධිය විරෝධනය වී ඇත්නම් ශල්‍යකර්මවලට ද පාත්‍ර වීමට රෝගියාට සිදුවනු ඇති .

මෙම රෝගය සඳහා වෘත්තීය චිකිත්සාව මගින් ප්‍රතිකාර ගැන කෙටි සටහනක් තැබීමට මා අපේක්ෂා කරනවා .

වෘත්තිය චිකිත්සාවෙන් අස්ථි පර්වදාහය සහිත රෝගීන්ට ලබා ගත හැකි ප්‍රතිකාර අතර මූලිකම ප්‍රතිකාරය වන්නේ සන්ධි ආරක්ෂා කර ගැනීමේ සහ සන්ධි ආශ්‍රිත ශක්තිය සංරක්ෂණය පිළිබඳ උපදෙස් . 

මෙම උපදෙස් රෝගියා පසුවන අවධිය එනම් රෝගයේ මූලික , මධ්‍ය හෝ බැරෑරුම් අවධියට අනුව වෙනස් වෙනවා .

එමෙන්ම රෝගියා ගත කරන ජීවන රටාව ට අනුවත් මෙම උපදෙස් වෙනස් විය හැකියි 

අස්ථි පර්වදාහය ඉතා වේදනාකාරී මෙන්ම රෝගියාගේ ක්‍රියාකාරිත්වය අඩාල වන අන්දමේ එකක් . එම නිසා දෛනික ක්‍රියාවල යෙදීමේ ප්‍රබල ගැටළු හට ඇති වෙනවා . රෝගියාහට සිය දෛනික ක්‍රියාවන් පහසුවෙන් කර ගැනීමට උපදෙස් සහ විවිධ ආකාරයේ වැඩ පහසු කර දෙන සහ ශක්තිය ආරක්ෂා කර දෙන උපාංග නිමැවීම හා නිර්දේශ කිරීම වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර මඟින් ඔබට ලබා ගත හැකියි . 

මීට අමතරව රෝගියා ගැටෙන පරිසරය සහ ක්‍රියාකාරකම් වෘත්තීන් ආදියෙහි රෝගයට අදාළව වෙනස්කම් කර ඒ ඒ පරිසරය හා ක්‍රියාකාරකම් වල පහසුවෙන් නියැලීමට වෘත්තිය චිකිත්සාව මඟින් උපදෙස් ලබා දෙනවා .

ඇතැම් විට රෝගයක් සම්පූර්ණයෙන් සුව කළ නොහැකි වුවත් රෝගියාගේ චර්යාව සහ පරිසරය වෙනස් කර දීම් තුළින් සහ ජීවන රටාවට උපදෙස් දීම මගින් අස්ථි ප්‍රදාහය වැනි රෝග වල ඇති ගැටලු අවම කළ හැකියි .වේදනාව අඩුවෙන් සහ ක්‍රියාකාරීත්වය පහසුවෙන් ගෙවීමට හැකි වන ජීවන රටාවක් හැම පුද්ගලයෙකුටම අත්‍යාවශ්‍ය වෙනවා .

අස්ථි පර්වදාහය පිළිබඳ මූලිකව ම මූලිකවම ලක්ෂණ මතුවන විටම ප්‍රතිකාර සඳහා යොමුවීම පසුකාලීන සංකූලතාවලින් ඔබට මිදීමට හේතුවක් වෙනවා .

මන්ද අතිශය වේදනාකාරී තත්ත්ව ඇති රෝගයක් ඇති පුද්ගලයෙකුට මානසික ආතතීන් වැනි ගැටළුත් ඇති වීමට හැකි වීමයි. එමෙන්ම වැටීම, ඇද වැටීම්, ලිස්සායාම් හේතුවෙන් අස්ථි බිඳම් සහ දීර්ඝකාලීන ආබාධිතතා ඇතිවීමට ද ඉඩකඩ ඇත.

අස්ථි පර්වදාහය වියපත් වීම සමඟම වැළඳිය හැකි රෝගයක් හෙයින් එය ඇතිවීම වළක්වාගත නොහැකි වුවත් යහපත් ජීවන රටාවන් ගෙන් යෙදී ගැටලු අවමයෙන් ජීවත්වීමට අප වගබලා ගත යුතුය. 

මේ සඳහා.....

🔸 ශරීරය උසට ගැලපෙන බරක් පවත්වා ගැනීම

🔸ස්ථුලතාවයෙන් මිදීම 

🔸දිනපතා ව්‍යායාම කිරීම 

🔸සන්ධි ආරක්ෂා කරන ක්‍රියාකාරකම්වල මුල සිටම යෙදීම 

🔸යහපත් ආහාර පුරුදු වල යෙදීම ඉතා වැදගත් වේ.



🌞 සුවපත් දිවියකට පෙර සූදානම වෙනුවෙන් වෘත්තීය චිකිත්සාව 🌞



කිත්මා වාසනා දහනායක 

වෘත්තීය චිකිත්සක ආචාර්ය 

භෞත චිකිත්සක සහ වෘත්තීය චිකිත්සක විද්‍යාලය 

ජාතික රෝහල කොළඹ

Comments

Popular posts from this blog

06. නිවැරදි ඉරියව් වලින් මනා සුවයක්

15. පිළිස්සුම ගැන කරුණු ටිකක්

09. මේ ගැනත් දැනගන්න ...ඇඳ තුවාල හෙවත් පීඩන තුවාල