31. ඔබේ සන්ධි ආරක්ෂා කර ගන්නේ කෙසේද ?

 ඔබේ සන්ධි ආරක්ෂා කර ගන්නේ කෙසේද ? 




පසුගිය දිනක අස්ථි පර්වදාහය සම්බන්ධයෙන් මා විසින් ලියූ ලිපියට ලද ප්‍රතිචාර අතරේ සන්ධි ආරක්ෂා කර ගැනීමේ ක්‍රියාකාරකම් යනු මොනවාදැයි එක් ගැටලුවක් අසා තිබුණා ...

ඇත්තෙන්ම සන්ධියක් ආරක්ෂා කර ගැනීමට අස්ථි පර්වදාහයක් හෝ වෙනත් සන්ධි හා සන්ධි ආශ්‍රිත රෝගයක් ඇති වීම අවශ්‍ය ම නොවේ .නිරෝගී සන්ධියක් සතු වන කාලයේ පටන් අප විසින් අපගේ සන්ධි ආරක්ෂා කර ගැනීමට පියවර ගත යුතුය .

අප විසින් අනුගමනය කරනු ලබන වැරදි ක්‍රියා පිළිවෙත් මෙන්ම ඇතැම් අනපේක්ෂිත අනතුරු ද සන්ධි වලට බොහෝ අනතුරු ඇති කරයි. සන්ධි ආරක්ෂා කර ගැනීමට අප වග බලාගත යුත්තේ සන්ධියක් අනතුරට පත් වූ විට එන සංකූලතාවයන් සහ ආබාධිත තාවයන් ඉතා බරපතල වන හෙයිනි .

අස්ථි පර්වදාහය (ඔස්ටියෝ ආතරයිටීස් ) මෙන්ම රුමැටීසියා පර්වදාහය ( රුමටොයිඩ් ආතරයිටිස්) රෝග දෙකම ගත් කල ඉන් පෙළෙන රෝගී පුද්ගලයන්ට වෘත්තීය චිකිත්සාවේදී මෙම සන්ධි ආරක්ෂාකර ගැනීමේ උපදෙස් නිරතුරුව ලබාදෙනවා.

පුද්ගලයෙකු ගේ ජීවන රටාව සහ ඔහුගේ රැකියාව එමෙන්ම ඔහුගේ නිවස හා සේවා ස්ථානය පවතින පරිසරය ආදී සියලුම කාරණා මෙම උපදෙස් ලබා දීමට පෙර සැලකිල්ලට ගත යුතු වෙනවා.මන්ද මෙවැනි රෝගීන්ගේ පරිසර සාධක සහ ක්‍රියාකාරීත්වය එකිනෙකට වෙනස් වන බැවින් දිය යුතු උපදෙස් ද එකිනෙකට වෙනස් වන බැවිනි .

නමුත් පොදුවේ ගත් කළ අපගේ සන්ධි ආරක්ෂා කර ගැනීම සඳහා පොදු උපදෙස් කීපයක් මා මෙහි සඳහන් කිරීමට බලාපොරොත්තු වෙනවා 

🔸සන්ධි හා සන්ධි ආශ්‍රිත රෝගයකින් ඔබ පෙළේ නම් හෝ ඔබට කිසියම් සන්ධියක අතිශය වේදනාකාරී බවක් දැනේ නම් ඔබ ක්‍රියාකාරකම් කරන අවස්ථාවලදී එම ක්‍රියාකාරකම් අතරට කෙටි විවේකයන් කීපයක් ( work - rest - work ) ගත යුතුය .

🔸අඩි උස පාවහන් පැලඳීමෙන් වැළකීම දෙපාවල සන්ධි වලට බොහෝවිට පහසුවක් වෙයි .විශේෂයෙන්ම සන්ධි හා සන්ධි ආශ්‍රිත රෝගවලින් පෙළෙන අයට ඊට ගැළපෙන අන්දමේ පාවහන් පළඳින ලෙස අවවාද කරනු ලැබේ. 

🔸අත්‍යවශ්‍ය කාරණයක දී මිස අනවශ්‍ය අන්දමින් පඩිපෙලවල් නැගීම සහ බැසීම සිදු නොකරන මෙන් සන්ධි රැකගැනීමේ උපදෙස් මාලාවේදී කෙනෙකුට උපදෙසක් ලෙස ලබා දෙනු ඇත. 

🔸සන්ධි සහ සන්ධි ආශිත රෝගවලින් පෙළෙන්නන්ට අනවශ්‍ය තරමේ බර එසවීමෙන් වළකින ලෙස අවවාද කරනු ලැබේ .මෙබඳු රෝගවලින් පෙළෙන්නන් විශේෂයෙන්ම යම් කිසි බරක් එසවීමේ දී එය සිය දෑතට ම බෙදී යන සේ එසවීමට වග බලා ගත යුතුය .

🔸බෑගයක් එසවීමේ දී පවා එය අතේ ඇඟිලි වලින් නොව ( එනම් කුඩා සන්ධි වලින් නොව) උරහිසට වැලමිටට ආසන්නයෙන් ( එනම් විශාල සන්ධියකට ආසන්නයෙන් ) බර යෙදෙන අන්දමට ඔසවාගෙන යන ලෙස උපදෙස් දෙනු ලැබේ 

🔸බිම ඇති යම් කිසි දෙයක් අහුලා ගැනීමේදී කොන්දෙන් එක්වරම නැමී එය අහුලා නොගන්නා ලෙසත් යම්කිසි ආධාරකයක් මගින් එය අහුලා ගන්නා ලෙසත් අවවාද කරනු ලැබේ .දණහිස් ආශ්‍රිතව රෝගයකින් පෙළේ නම් දණහිස් වලින් බිමට නැමීම ද එතරම් සුදුසු නොවේ . දණහිස් ආබාධ නොවේ නම් මෙසේ සුදුසුය.

🔸රුමෙටිසියා පර්වදාහයෙන් පෙළෙන කාන්තාවන්ගේ බොහොමයක් විට අත්වල විකෘතිතා ඇති වන්නේ අතේ සුළඟිල්ල දෙසට ඇද වන පරිද්දෙනි .එවැනි කාන්තාවන්ට රෙදි මිරිකීමේදී , බෝතල් ආදිය විවෘත කිරීමේ දී හැකිතාක් දුරට අතේ චලනය සුලඟිල්ල දෙසට කැරකෙන්නේ නැති ආකාරයට සිදු කරන ලෙස උපදෙස් දෙනු ලැබේ. 

🔸තමන්ගේ ක්‍රියාකාරිත්වයන් සඳහා යොදා ගන්නා ගෘහ භාණ්ඩ සහ ස්ථානය තමාගේ උසට ගැලපෙන අන්දමට සකසා ගත යුතු වෙයි .

🔸මුලුතැන්ගෙයදී කරන ක්‍රියාකාරකම්වලදී අද දවසේ කාන්තාවන් බොහොමයක් වැඩ කරන්නට හුරු වී තිබෙන්නේ සිට ගෙන ය .එය දෙපාවල සන්ධිවලට එතරම් සුදුසු නොවන හෙයින් මුලුතැන්ගෙහි කරන්නාවූ ක්‍රියාකාරකම් අතර දී හිඳ ගැනීමට උස් පුටුවක් (kitchen stool) යොදා ගන්නා ලෙස අවවාද කරනු ලැබේ . 

🔸පරිගණක භාවිතා කරන පුද්ගලයන්ට පරිගණකය සහ මේසය සහ පුටුව තමන්ගේ සන්ධිවලට සුදුසු වන ලෙස සකසා ගැනීමටද උපදෙස් දෙනු ලැබේ . 

ඉහත මා සඳහන් කළේ සන්ධ්‍ රැක ගැනීමට කළ හැකි පොදු උපදෙස් කිහිපයකි .නමුත් සන්ධි හා සන්ධි ආශ්‍රිත රෝගයකින් පෙළෙන පුද්ගලයන් වඩාත් සැලකිලිමත් විය යුත්තේ තමන්ගේ ජීවන ජිවන රටාවට ගැළපෙන ආකාරයේ උපදෙස් ඔබගේ වෘත්තීය චිකිත්සක වරයාගෙන් ලබාගැනීමයි . 


🌞 නීරෝගී දිවියක් වෙනුවෙන් පෙර සූදානමින් කටයුතු කරන්න 🌞 


කිත්මා වාසනා දහනායක 

වෘත්තිය චිකිත්සක ආචාර්ය 

භෞත චිකිත්සක සහ වෘත්තීය චිකිත්සක විද්‍යාලය 

ජාතික රෝහල කොළඹ

Comments

Popular posts from this blog

06. නිවැරදි ඉරියව් වලින් මනා සුවයක්

15. පිළිස්සුම ගැන කරුණු ටිකක්

09. මේ ගැනත් දැනගන්න ...ඇඳ තුවාල හෙවත් පීඩන තුවාල