34. වෙනස සහ වෙනස් අන්දමට බාරගන්න

 වෙනස සහ වෙනස් අන්දමට බාරගන්න


ඔබේ විශේෂ අවශ්‍යතා සහිත දරුවා සෑම විටම සුවිශේෂ දරුවෙක් කරගන්න. ඔහුගේ හෝ ඇයගේ හැකියාවන් මෙන්ම අවශ්‍යතා දෙසද නිර්මාණාත්මක මෙන්ම ධනාත්මක ඇසින් බලන්න .හැම විටම "අනේ මේ දරුවාට කිසිම දෙයක් බැහැනේ " යන අදහසේ එල්බගෙන නොසිටින්න. මන්ද ඔබ පසුගාමී වන හැම පියවරක්ම ඔබේ දරුවා ඉදිරියට ගෙන යන්නට ඇති ඉඩකඩ අහුරා දමයි.

ඔබේ දරුවා දෙස සාමාන්‍ය දරුවකුගේ හැකියා දෙස බලන ඇසෙන් නොබලන්න. ඇතැම්විට ඔබගේ විශේෂ අවශ්‍යතා සහිත දරුවා ඇවිදීමේ ගැටලුවකින් පෙනෙන්නට හැකියි. එම ඇවිදීම යන අවශ්‍යතාවය සමහර විට ආබාධය නිසා ඔහු හෝ ඇයට කිසිදා හැකියාවක් නොලැබෙන දෙයක් වන්නටත් පුළුවන්. නමුත් ඔබේ දරුවාට ඒ වෙනුවෙන් විකල්ප රාශියක් ඇති බව මතක තබා ගන්න .

විශේෂ අවශ්‍යතා සහිත දරුවෙක් යනු ජීවිතයේ කිසිවක් ම බැරි දරුවෙක් ලෙස නොසිතන්න .එම දරුවන් නිසි මඟ පෙන්වීමක් සහ අදාල ගැලපෙන උපාංග සහිත ව බොහෝ දුරක් ඉදිරියට ගෙනයා හැකියි .

ඔබේ දරුවා වර්ධනය පියවර වලට නිසි වයසේදී ළඟා නො වේ නම් ඒ පියවර වලට දරුවා ලං කරවීමට ඔබ උත්සාහ ගත යුතු වෙනවා. ඒ සඳහා ඇති උපාංග සම්බන්ධව ඔබගේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙන් දැනුවත් විය යුතුය. දරුවාගේ චාලක ගැටලු සම්බන්ධව ගත් කල ඔහු හෝ ඇයට ඇවිදීමේ ගැටලු ඇත්නම් මේ සඳහා විකල්ප ක්‍රම භාවිත කළ යුතු වෙනවා .රෝද පුටුව (wheel chair) හෝ හෝ විශේෂ ආසනය (special seat)සම්බන්ධව ඔබ දැනුවත් වීම ඔබේ වෘත්තිය චිකිත්සක නිලධාරියා හරහා ලබාගත හැකියි.

රෝදපුටුවක් / විශේෂ ආසනයක් යනු හැමවිටම අනන්‍ය වන උපාංගයකි. මෙහිදී දරුවාට ම ගැළපෙන ආකාරයේ රෝදපුටුවක්/ විශේෂ ආසනයක් සකසා ගැනීමට ඔබගේ වෘත්තිය චිකිත්සක නිලධාරියා ඔබට සහය වනු ඇති.

නිසි පරිමාණයන් සහ ශරීර මිමි අනුව දරුවාට එය සැකසිය යුතු වෙනවා. මෙහිදී ආසනයේ උස, දිග ,පළල මෙන් ම භාවිත කරන කුෂන් වර්ගය, රෝදවල ස්වභාවය අත් ඇඳිවල තත්ත්වය මෙන්ම තිරිංග සම්බන්ධ ඔබට අවබෝධයක් ලබාගත හැකියි .

දරුවා ස්ථානගත කිරීමේදී, සාමාන්‍ය ගෘහ උපකරණ භාවිතයේ ගැටලු ද ඔබ හට ඇති වෙන්න පුළුවන්. සාමාන්‍ය පුටු මේස ආදිය නිවසේ මෙන්ම පාසලේ දී භාවිත කිරීමේ ගැටලුව ඔබට ඇතිවේ නම් ඒ සඳහා විකල්ප ක්‍රම භාවිත කළ යුතු වෙනවා .

මේ සඳහා ඔබට වෘත්තීය චිකිත්සක නිලධාරියෙක් ගෙන් උපදෙස් ලබා ගත හැකියි. දරුවාගේ උසට සහ පළලට මෙන්ම අනෙකුත් මිමි වලට අනුව සාමාන්‍ය පුටුවක් දරුවාට ගැළපෙන ආකාරයට සකස් කර ගන්නා ආකාරය ඔබට ඔවුන් කියා දෙනු ඇත.

දරුවාට අවශ්‍ය ආධාරක මෙන්ම ආනත තල ආනතතල (inckined boards) හා පා ආධාරක (foot rests) ආදියද නිවැරදිව සකස් කිරීමෙන් දරුවාට ඇතිවන අපහසුතා අවම වනවා සේම කාර්ය කර ගැනීමට පහසු වනවා ඇත .

ආනත තලයක පින්තූරයක් මේ සමග ඔබ වෙත පලකරමි .

පාසලක මෙන්ම නිවසේ දී දරුවාට අවශ්‍ය ඉගෙනුම් ආධාරක ඔබ විසින් සපයා ගත යුතු වේ. පන්ති භාර ගුරුතුමිය සමග සාකච්ඡා කිරීමෙන් දරුවා මුහුණපාන ගැටලු අවබෝධ කරගන්නට හැකි වනු ඇත. එම ගැටලු සඳහා ඔබට අවශ්‍ය වෙනස්කම් කිරීමට ඔබගේ වෘත්තීය චිකිත්සකවරයා ඔබට සහය වනු ඇත. 

දරුවා භාවිතා කරන පෑන, පැන්සල මෙන්ම ආහාර ගැනීමට භාවිත කරන හැන්ද, ගෑරුප්පුව, වතුර බෝතලය, කෝප්පය ආදිය ද දරුවාට ගැලපෙන අන්දමට වෙනස් කරමින් දරුවා ස්වාධීන කිරීමට ඔබට වෘත්තීය චිකිත්සක නිලධාරීවරයා සහාය වනු ඇත.

මේ ඔබ දකින්නේ එවැනි ඇතැම් වෙනස් වීමට ලක් කරන ලද උපකරණයන්. මේවා දරුවාගෙන් දරුවාට වෙනස් වන බැවින් ඒවා දරුවාට ම ගැලපෙන අන්දමට සකස් කරගත යුතු වේ . මෙහි ඇති වැදගත්කම වන්නේ දරුවා තම වැඩ කටයුතු වලදී ස්වාධීන වීමයි .

එය ඔබට මෙන්ම අනෙක් සමාජ ගත වීම් වලදී ද පහසුවක් වනු ඇත


කිත්මා වාසනා දහනායක 

වෘත්තීය චිකිත්සක ආචාර්ය 

භෞත චිකිත්සක සහ වෘත්තීය චිකිත්සක විද්‍යාලය 

ජාතික රෝහල 

කොළඹ

Comments

Popular posts from this blog

06. නිවැරදි ඉරියව් වලින් මනා සුවයක්

15. පිළිස්සුම ගැන කරුණු ටිකක්

09. මේ ගැනත් දැනගන්න ...ඇඳ තුවාල හෙවත් පීඩන තුවාල