35. ඔබේ දරුවාට සෙල්ලම් බඩු නිවැරදිව තෝරාගන්න...

 ඔබේ දරුවාට සෙල්ලම් බඩු නිවැරදිව තෝරාගන්න... 




දරුවෙක්ට සෙල්ලම් බඩු තෝරා ගන්නවා කියන්නෙත් ටිකක් සිතාමතා කළ යුතු දෙයක් . ඔබ ඔබේ දරුවාට සෙල්ලම් බඩුවක් තෝරාගැනීමේදී සිතන කරුණු මොනවාද ? හැඩය ,වර්ණය, අවශ්‍යතාවය ඉන් ලැබිය හැකි ප්‍රයෝජනය ,දරුවාගේ රුචිකත්වය, මිල ආදී බොහොම කරුණු කාරණා මත මෙම තෝරා ගැනීම සහ මිලදී ගැනීම රඳා පවතිනවා .

ඒ වගේම දරුවෙක්ට සෙල්ලම් බඩුවක් රැගෙන දුන්නාට පසු ඔබ , ඔහු හෝ ඇය එයින් සෙල්ලම් කරන ආකාරය නිරීක්ෂණය කරනවා හෝ නො කරනවා වෙන්නත් පුළුවන් .සමහර දරුවන් ඉක්මනින් සෙල්ලම් බඩු කඩා බිඳ දමනවා. ඒ හා සම්බන්ධ චර්යාවනුත් ඔබ නිරීක්ෂණය කර ඇති.

මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන කරුණු, සාමාන්‍ය දරුවෙකුට සේම විශේෂ අවශ්‍යතා ඇති දරුවකුට ලබාදිය යුතු සෙල්ලම් බඩුවක් තීරණය කරන අන්දම, එය තෝරා ගන්නා ආකාරය සහ එය භාවිත කරන ආකාරය ගැන දැනුවත් වීමට හේතු වනු ඇති .

දරුවෙක් සාමාන්‍යයෙන් ගමනක් බිමනක් යද්දි සෙල්ලම් බඩුවක් දුටු තැනදී ඉල්ලීම සාමාන්‍ය දෙයක් .සමහරක් විට එම සෙල්ලම් බඩුව මගින් දරුවාට එතරම් ප්‍රයෝජනයක් නොලැබෙන්නත් පුළුවන් .නමුත් මුදල ගැනත් සලකා බලා ඔබ එය රැගෙන දෙනවා වෙන්නට පුළුවන්. ඒ වගේම ඔබ දරුවෙක් බලන්නට යන විට, ඒ වගේම තෑග්ගක් ලෙස හෝ දරුවාගේ යම් යම් අවශ්‍යතා සඳහා සෙල්ලම් බඩු තෝරා ගන්නා වේලාවක් තිබෙන්නට පුළුවන් .මෙන්න මේ වගේ අවස්ථාවකදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද යන්න අපි සිතන්න අවශ්‍යයි .

අපි මෙහිදී විශේෂයෙන්ම කතා කරන්නේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ගැන බැවින් මූලිකවම ඒ සම්බන්ධ අදහස් ගෙන එන්න මා සිතනවා .විශේෂ අවශ්‍යතා දරුවන් හට සෙල්ලම් බඩු තෝරා ගන්නා විට ඔවුන් ගත කරන්නේ කිනම් වර්ධන පියවරක ද යන්න වටහා ගැනීම ඉතා වැදගත් වෙනවා .උදාහරණයක් වශයෙන් මස්තිෂ්ක ආඝාතයෙන් (cerebral palsy) පෙළෙන පස් අවුරුදු දරුවෙක් ගත් විට ඔහුට හිඳ ගැනීමේ කුසලතාව ඇතිවා මෙන්ම අතින් යමක් ඇල්ලීමේ අපහසුතාවයන් තියෙන්නට පුළුවන් .නමුත් ඔහුට වයස අවුරුදු පහක් යයි සිතා බයිසිකලයක් පාපන්දුවක් ලබාදීම පලක් නැති වෙන්න පුළුවන් .ඔබ වඩා සැලකිලිමත් විය යුත්තේ දරුවාගේ වර්ධනය සම්බන්ධවයි .

එබැවින් සෙල්ලම් බඩුවක් තෝරා ගන්නා විට දරුවාගේ ක්‍රියාකාරිත්වය ගැන සිතා බලන්න .ඔහුගේ මූලික වර්ධන පියවර සහ අත්වල ක්‍රියාකාරිත්වය ගැන සලකා බලා ඔහුට පහසුවෙන් භාවිත කළ හැකි සෙල්ලම් බඩු තෝරා ගන්න .එමෙන්ම දරුවාගේ තවමත් දියුණු වී නැති කුසලතා වර්ධනයට උචිතවන ,ඒවාට රුකුල් දෙන සෙල්ලම් බඩු තෝරා ගන්න.ඇතැම් අවස්ථාවලදී ඔබගේ වෘත්තීය චිකිත්සක නිලධාරීන් ඒ සම්බන්ධව ඔබව දැනුවත් කරනු ඇති.

මීට අමතරව දරුවාගේ පෙනීම සහ කණ් ඇසීම සම්බන්ධවත් ඔබ සැලකිලිමත් විය යුතු වෙනවා. දරුවාගේ පෙනීම ගැටලු සහිත වන විට ඒ සඳහා ගැළපෙන වර්ණ යොදා ගැනීමත්, ශබ්දය ඇසීමේ ගැටළු සඳහා විවිධ ශබ්ද ඇති සෙල්ලම් බඩු භාවිතා කළ යුතු වෙනවා . මෙහිදී දරුවාට එම සෙල්ලම් බඩුවෙන් අපේක්ෂිත අරමුණ කුමක්ද යන්න වටහා ගැනීම ඔබ විසින් කළ යුතු වේ.

දරුවා යමක් අතින් අල්ලා ගැනීමේ අපහසුවෙන් පෙළේ නම් සෙල්ලම් බඩුවක් තෝරා ගන්නා විට ඒ ගැනත් සැලකිලිමත් වන්න. හැමවිටම පහසු මිටක් සහිත සෙල්ලම් බඩු, තියුණු දාර සහ මුළු රහිත ඒවත් වඩා සුදුසු බව සිහි තබා ගන්න .මන්ද මේ දේවල් මගින් අනතුරු ඇතිවිය හැකි බැවිනි. දරුවාගේ අත සහ ශරීරයට පහසුවෙන් හසුරුවා ගත හැකි සෙල්ලම් බඩු තෝරා ගන්නට ඔබට වෘත්තීය චිකිත්සකවරයා උපදෙස් දෙනු ඇත 

දරුවකු සෙල්ලම් කිරීමට යෙදවීමෙන් විවිධ දේ ඉගෙන ගනී. අප සෙල්ලම් බඩුවක් තෝරා ගැනීමේදී එම උගත යුතු ක්‍රියාවන් ගැන අවබෝධ කරගත යුතුයි යුතුය. ඇතැම්විට ඔබ ඉතා මිල අධික සෙල්ලම් බඩු හුදෙක් දැකුම්කළු බව හේතුවෙන් ම දරුවාට අරන් දෙන්නට පෙළඹෙනු ඇත . නමුත් හොඳින් නිරීක්ෂණය කළ විට ඔබට වටහා ගත හැකි ගත හැකි සුලභ ම කාරණය වන්නේ නම් දරුවන් වන්නේ ස්වභාවික තත්ත්ව වලට සමීප සෙල්ලම්බඩු වලට බවයි .

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වැලි සහ ජලය සමග කරන සෙල්ලම් ඉතාමත්ම ප්‍රතිඵලදායක වේ. මෙහිදී දරුවාගේ ආරක්ෂාව සහ හැසිරවීම ගැන ඔබ වගබලා ගත යුතුවේ. වැලි සහ ජලය සමඟ සෙල්ලම් කිරීම තුළින් දරුවාගේ ස්පර්ශ සංවේදනය මෙන්ම නිර්මාණශීලී බව , සාමූහික ක්‍රියාකාරකම් එමෙන්ම සමායෝජනය ද ඔප මට්ටම් වේ.ඔබට අවැසිනම් සෙල්ලම් බඩු මිලදී ගන්නා විට මේ සඳහාම නිර්මාණය කළ ප්ලාස්ටික් බඩු (beach set) මිළ දී ගන්නට හැක.

නමුත් ඉඳහිට දරුවන්ට පොල්කටු කිහිපයක් ,ප්ලාස්ටික් වතුර බෝතල් කිහිපයක් සමග බේසමත් දෙන්න.ඔවුන් නිදහසේ සහ වඩා උද්යෝගයෙන් දෙවන අයිතමයන් සමග සෙල්ලම් කරනු ඇත. මේවා සාපේක්ෂව මුදලක් නොයෙදවෙන දේවල් මෙන්ම අනතුරුදායක බවින් අඩුය .

ඔබ ඔබේ දරුවාට සෙල්ලම් බඩු නිර්මාණය කර දී තිබේද ..?

මේ පැනයට බොහෝවිට ලැබෙන පිළිතුර වන්නේ නැත යන්නයි... නමුත් දෙමව්පියන් තමන්ගේ දරුවන් වෙනුවෙන් විවිධාකාර සෙල්ලම් බඩු නිර්මාණය කිරීමේදී ස්වාභාවික අමුද්‍රව්‍ය යොදා ගෙන දරුවා ගේ විශේෂ අවශ්‍යතාවයන් ගැන සොයා බලා සෙල්ලම් බඩු නිර්මාණය කළ හැක .ඒ සඳහා ඇති සරල සරළ උදාහරණ කිහිපයක සේයාරූ මේ සමග දක්වා ඇත





සමහරක් දරුවන් වෙනුවෙන් ඔබට පරිසරයේ විවිධ දේ සෙල්ලම් භාණ්ඩ ලෙස යොදා ගන්නට සිදු වනු ඇත. කෘතිම පරිසරයකට වඩා එවැනි පරිසරයක දරුවා සමග සෙල්ලම් කිරීම දරුවාට බොහෝ සංවේදන ලබා දෙයි. 

දරුවා සෙල්ලම් කිරීමට යොදවන විට තනි ක්‍රීඩා සහ සෙල්ලම් සඳහා මෙන්ම සාමූහික ක්‍රීඩා වෙත ද යොමු කරන්න. ඒ සඳහා යොදවන අවස්ථාව කුමන අරමුණක් ලෙස ද යන්න ඔබ විසින් වටහා ගෙන තීරණය කළ යුතු වෙනවා .සෙල්ලම් කිරීම තුළින් දරුවකුගේ කායික ,මානසික මෙන්ම අවබෝධාත්මක කුසලතා ද ගොඩ නැගිය හැක. සාමූහිකව කටයුතු කිරීම, සමායෝජන ක්‍රියාවලීන් හුවමාරු කරගෙන ක්‍රියාකිරීම ,ඉවසීම ආදිය මෙන්ම මෙන්ම ප්‍රශංසාව, අගය කිරීම ආදී කුසලතා රැසක් මේ තුළින් දරුවාගේ ජීවිතයට එකතු වෙනවා . මෙම තත්ත්වය විශේෂ අවශ්‍යතා සහිත දරුවකුගේ පමණක් නොව සාමාන්‍ය දරුවකුගේද ජීවිතයට ඉතා වැදගත් වෙනවා 

දරුවාට අනුකරණයට ඉඩ දෙන්න.මෙය ඔබට සෙල්ලම් කිරීම තුළින්ම පුහුණු කළ හැකියි .සෙල්ලම් ගෙවල් ,සෙල්ලම් කඩයක් . පාසලක් ආදී පරිසරයන් නිර්මාණය කරමින් අපි සෙල්ලම් කළ අපේ ළමාවිය සිහිකරන්න .. ඒ නිරායාසයෙන් අප උගත්දේ අද දරුවන්ට ආයාසෙන් හුරු කරවන්නට වීම පාසල් අධ්‍යාපනයේ මුල සිට ම දකින්නට ලැබෙන්නේ ඒ නිසයි... ගෘහස්ථ කටයුතු අනුකරණය , සෙල්ලම් බත් ඉවීම ආදිය තුළින් දරුවා ඉගෙන ගනි... එමෙන්ම පවුලේ සාමාජිකයන් අනුකරණයෙන් අදාල සාමාජිකයන්ගේ වගකීම් සහ යුතුකම් (family roles)ආදිය ගැන ද දරුවා ඉගෙන ගනියි .

ඉතින් වටහා ගන්න ...සෙල්ලම් කිරීම යනු දරුවාගේ ජීවිතයේ ඉදිරි පියවර සඳහා අඩිතාලමයි .ඒ තුලින් දරුවට උගන් වන්න .ඔබත් ඉගෙන ගන්න.


කිත්මා වාසනා දහනායක 

වෘත්තීය චිකිත්සක ආචාර්ය 

භෞත චිකිත්සක සහ වෘත්තීය චිකිත්සක විද්‍යාලය 

ජාතික රෝහල 

කොළඹ

Comments

Popular posts from this blog

06. නිවැරදි ඉරියව් වලින් මනා සුවයක්

15. පිළිස්සුම ගැන කරුණු ටිකක්

09. මේ ගැනත් දැනගන්න ...ඇඳ තුවාල හෙවත් පීඩන තුවාල