39. අවධාන ඌනතාවය සහිත අධික්‍රියාකාරීත්වය

 අවධාන ඌනතාව සහිත අධි ක්‍රියාකාරී (ADHD) දරුවන් හඳුනාගනිමු




උදෑසන නිවසේ වැඩකටයුතු අවසන් කල සුභානි අන්තර්ජාලයට පිවිසුණේ ඇයගේ මුහුණු පොත් පිටුව විවෘත කරගනිමිනි.දවසේ කුදුමහත් ක්‍රියාකාරකම් වලින් හෙම්බත් වන මොහොතක මුහුණු පොත් ඉසව්ව ඇයට ගෙන එන්නේ තරමක අස්වැසිල්ලක්.

මුහුණු පොත් පිටුව උඩ පහල සැරිසරන මොහොතක සුභානි ගේ ඇස ගැටුණේ ඇය නිතර දෙවේලේ ලිපි කියවන එක්තරා කාන්තා සමූහයක්. කාන්තාවන්ගේ විවිධාකාර නිර්මාණශීලී අදහස් මෙන්ම ගැටළු සම්බන්ධයෙන් සමූහය තුළ බොහෝවිට කෙරෙන සාකච්ඡා සුභානිත් උනන්දුවෙන් කියෙව්වා .

ඔබේ දරුවා අධික අධික්‍රියාකාරි ද යන මැයෙන් පළ වූ ලිපියක් එම සමූහයේ පළවී තිබී සුභානි  එය කියවූයේ මහත් අභිරුචියකින් . සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සම්බන්ධ සුදුසුකම් ලත් අයෙක් විසින් ලියැවුණු ඒ ලිපිය සුභානි කියවා අවසානයේ එහි වූ කමෙන්ට් තීරය ද දිගටම කියවාගෙන ගියා .

🔺අනේ මේකෙ තියන දේවල් අපේ බබාටත් තියෙනව

🔺මගෙ බබාත් ඔහොමමයි .එක තැනක ඉන්නෙම නැහැ 

🔺අදත් මොන්ටිසෝරියේ දී ළමයෙක් එක්ක රණ්ඩු වෙලා... ටීචගෙත් හිත හොඳ නෑ වගෙයි 

🔺පොතක් පතක් අතට ගන්න කැමතිම නැහැ කොයි වෙලෙත්  සෙල්ලමමයි....මේ ලිපියෙන් කියවෙන කාරණා  මයි අපේ බබාටත් තියෙන්නේ 

සුභානි  කමෙන්ට් කියවීම පසෙක තබා මිදුලේ තනියම සෙල්ලමේ යෙදෙන මලිඳු දෙස බැලුවා .මලිඳුට  දැන් වයස හතක් .මේ ලිපියේ තියෙන දේවල් කියවනකොට අපේ පුතා ගැන මගේ හිතේ තියෙන සැකයක් තහවුරු වෙනවා මේ ළමයත් කියන කිසිම දෙයක් අහන්නේ ම නැහැනේ ...පොතක් පතක් අතින් අල්ලන්නෙ නෑ ...කියන දේකට ඇහුම්කන් දෙන්නෙත් නෑ.. අනික දැන් දවස් කිහිපයක්ම පංතියේ ළමයි එක්ක රණ්ඩු වුණා කියලා ටීචත් කිව්වනේ 

ඇත්තටම මලිඳු hyperactive බබෙක්ද සුභානි  තම සිතේ වූ සැකසහිත කාරණා එකින් එක මුහුණුපොත් ලිපිය සමගින් ගලපමින් සිතුවේ දෑස් වල කඳුළු පුරවාගෙනයි...

*********************************************

ඉහත කෙටි කතාංගය මා නිර්මාණය කළේ බොහොමයක් සත්‍ය අත්දැකීම් ඔස්සේය .විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සම්බන්ධයෙන් විවිධාකාර මාධ්‍යවල ලිපි ලියන විට මෙම අත්දැකීම බොහෝවිට මට අත්විඳින්නට ලැබෙන දෙයක් .

ලිපිය සමග දුරකථන අංකය සඳහන් වන විට දෙමව්පියන් , බොහෝ විට මව්වරු .. තමන්ගේ දරුවා හට අවදාන ඌනතාවය සහ අධි ක්‍රියාකාරී බව ආදිය ඇති බව සඳහන් කරමින් ඒ සඳහා විසඳුම් අපේක්ෂාවෙන් ඇමතුම් දෙන එක සාමාන්‍යයෙන් සුලබ කාරණයක් .

නමුත් අන්තර්ජාලයේ හෝ කිනම් මාධ්‍යයක පළ වන ලිපියක් ඔස්සේ නිකරුනේ සැක ඇති කර ගැනීම එම දෙමව්පියන් හට වඩා අහිතකර වන්නේ දරුවන්ටයි .මන්ද එම ලිපි හෝ අදහස් ඔස්සේ ඉන්පසු ඔවුන් විවිධාකාර ප්‍රතිකාරයන් සහ උපදේශනයන් සොයා  මුදල්ද කාලය ද වැය කරමින් දරුවා සමග වෙහෙස වන හෙයිනි .

දරුවකුගේ කායික, මානසික , චර්යාත්මක හා අවබෝධාත්මක අංශ ගැන දෙමව්පියන් අවධානයෙන් සිටීම ඉතා වැදගත්.  එය අවිවාදයෙන් පිළිගත යුතු කාරණයක් .නමුත් අනිසි බිය සහ වැරදි මංපෙත් ඔස්සේ සැකය මුල්කරගෙන ගමන් කිරීම ඉතා අවාසිදායක කාරණයක් .

දරුවකුගේ නිසි වර්ධන පියවර ගැන දෙමව්පියන් මනා අවධානයකින් සිටිය යුතු බව අවධාරණය කරන අතර දරුවකුගෙන් තවත් දරුවකුට මෙම වර්ධන පියවර වල පැහැදිලි වෙනස්කම් ද පැවතිය හැකි බවත් සිද්ධාන්තවල  කියැවෙන අන්දමට සියයට සීයක් ගැළපෙන දරුවන් සත්‍ය ලෙසින්ම නොපවතින බවත් වටහා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා .

දරුවාගේ ක්‍රියාකාරීත්වය  අධි හෝ අව ගණයට පත්වීමට එම දරුවාගේ පූර්ව හා පසු උපත් ගැටලුකාරී තත්ත්වයන් , කායික මානසික, චර්යාත්මක සහ අවබෝධතා  අංශවල වර්ධන රටාවේ පැහැදිලි වෙනස් වීම් මෙන්ම පවුල සහ දරුවා ගැටෙන සෙසු සමාජීය පරිසරයන් ගෙන් දරුවාට ලැබෙන ධනාත්මක හෝ සෘණාත්මක බලපෑම් යන සියලුම කාරණා වැදගත් වෙනවා 

ඉතින් ඔබේ දරුවා ගේ ක්‍රියාකාරීත්වය අධික්‍රියාකාරී ගණයට  සමාන යැයි ඔබට සිතේ නම් , එමෙන්ම දරුවාගේ අවධාන ඌණතා තත්ත්වයක් ඇතැයි ඔබට සිතේ නම් ඔබ මුලින්ම කළ  යුත්තේ දරුවා වෛද්‍ය ක්ෂේත්‍රයේ ඒ සම්බන්ධ පළපුරුදු විශේෂඥ වෛද්‍යවරයෙකුට යොමු කිරීමයි .අදාළ පරීක්ෂණ ,නිරීක්ෂණ, ඇගයීම්වලට අනතුරුව දරුවා ප්‍රතිකාර ලැබිය යුතු අවදානම් ඌනතාවය සහිත අධි ක්‍රියාකාරි දරුවකු නම් අනිවාර්යෙන්ම එම වෛද්‍යවරයා ඔබේ දරුවා අදාළ ප්‍රතිකාර වෙත යොමු කරනු ඇති .


කිත්මා වාසනා දහනායක 

වෘත්තීය චිකිත්සක ආචාර්ය 

භෞත චිකිත්සක සහ වෘත්තීය චිකිත්සක විද්‍යාලය 

ජාතික රෝහල 

කොළඹ

Comments

Popular posts from this blog

06. නිවැරදි ඉරියව් වලින් මනා සුවයක්

09. මේ ගැනත් දැනගන්න ...ඇඳ තුවාල හෙවත් පීඩන තුවාල

15. පිළිස්සුම ගැන කරුණු ටිකක්